May, 30, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය (Lanka Hospitals Diagnostics) දකුණු ආසියානු කලාපයේ විශාලතම ‘පහසු ගෙවීම්’ (Buy Now - Pay Later) ජංගම දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile App) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියේය. කොකෝ ඇප් හරහා පාරිභෝගිකයින් හට පොලී රහිතව වාරික 3 කින් තමන් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීමට හැකියාව ලැබෙන අතර කොකෝ හරහා මෙම පහසුව පාරිභෝගිකයින් හට ලබා දෙන ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණාගාර සේවාව ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික් (LHD) සේවාව වේ.
2020 වසරේදී ශ්‍රී ලංකාවේ දියත් කරන ලද කොකෝ ඇප් මෙරට විශාලතම විද්‍යුත් වාණිජ (e commerce) සමාගම වන දරාස් (Daraz) සමාගමේ සේවාවකි. පශ්චාත් කොවිඩ් සමයේදී කොකෝ සේවාව විශාල වශයෙන් ජනප්‍රිය වූ අතර එයට මූලික හේතුව වූයේ පාරිභෝගිකයින්ට භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී දින 60 ක කාල සීමාවක් ඇතුළත වාරික 3 කින් පොලී රහිතව ගෙවීමට අවස්ථාව ලැබීමයි. එමෙන්ම කොකෝ ඇප් සේවාව ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහාද විවෘත වීම නිසා කෙටි කාලයක් තුළ මෙම සේවාව අතිශය ජනප්‍රිය වී ඇත. වර්තමානය වන විට දිවයින පුරා විසිරුණු ආයතන/සන්නාම 2000 කට අධික ප්‍රමාණයක් සහ පාරිභෝගිකයින් 500,000 කට අධික ප්‍රමාණයක් කොකෝ ඇප් සමඟ සම්බන්ධව සිටී.
“ලංකා හොස්පිටල් පර්යේෂණාගාර සේවාව අති නවීන තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ පර්යේෂණාගාර සේවාවක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට කැප වී සිටිනවා. නිවරද්‍ය පර්යේෂණාගාර වාර්තා හරහා රෝග නිර්ණය සඳහා වැදගත් තොරතුරු විශ්වාසනීයව ලබාගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම හැකි විය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ නිසා නව්‍යකරණය අපට ඉතාම වැදගත්. ලංකා හොස්පිටල් පර්යේෂණාගාර සේවාව සහ කොකෝ ඇප් සහයෝගීතාවය නව්‍යකරණය හරහා සියලු ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ පර්යේෂණාගාර සේවාවන් සැපයීම සඳහා වන අපේ කැපවීම සනාථ කරනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා හොස්පිටල් පර්යේෂණාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානී ගලගොඩ මහත්මිය පැවසීය.
වෛද්‍ය ගීතානී ගලගොඩ මහත්මිය තව දුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෑතකාලීනව මතු වූ ආර්ථික දුෂ්කරතාවයන් නිසා බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට සිය වියදම් පිළිබඳව වැඩි අරපිරිමැස්මකින් සහ සැළකිල්ලකින් කටයුතු කිරීමට සිදු වී ඇති නමුත් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ වියදම් සඳහා සුපුරුදු පරිදිම මූලිකත්වය ලබා දිය යුතු බවය. එසේම නිසි කලට පර්යේෂණාගාර වාර්තා ලබා ගැනීමට කටයුතු නොකළහොත් සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම ප්‍රමාද වී, හානිදායක තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඒ මහත්මිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ ෆින්ටෙක් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක් වන කොකෝ සිය පාරිභෝගිකයින් වෙත මූල්‍යමය අතින් පහසුව සහ නිදහස ගෙන ඒම ඉලක්ක කරගත් සේවාවකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 18 කට අධික ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙත සේවය සැපයීමට ඉලක්ක කිරීම කොකෝ සේවාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමට හේතුසාධක වී ඇත.
“අපේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට පහසුව සහ නිදහස ගෙන ඒමයි. ඒ පහසුව සහ නිදහස ආර්ථික කාරණාවල සිට සෞඛ්‍ය සේවා දක්වා වන පුළුල් පරාසයක විහිදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ලංකා හොස්පිටල් පර්යේෂණාගාර සමඟ මේ ඇති කරගත් සහයෝගීතාවය හරහා පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය කරන පර්යේෂණ සේවාවන් පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකියි. මේ නිසා ඔවුන්ට විශාල නිදහසක් සහ පහසුවක් අත්කර දීමට හැකි වීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් දරාස් මූල්‍ය සේවා සමාගමේ වාණිජ ප්‍රධානී නහීඩ් සයිනුඩීන් මහතා පැවසීය.
අමෙරිකානු ව්‍යාධිවේදීන්ගේ විද්‍යාලයේ College of American Pathologists (CAP) පිළිගැනීමට ලක් වී ඇති මෙරට එකම පර්යේෂණාගාර සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය රට පුරා විහිදුණු පුළුල් පර්යේෂණාගාර ජාලයකින් සමන්විතය. පූර්ණ හිමිකාරිත්වය සහිත ප්‍රධාන පර්යේෂණාගාර 50කට වැඩි සංඛ්‍යාවක්, කුඩා පරිමාණයේ පර්යේෂණාගාර 09ක් සහ නාරාහේන්පිට පිහිටි පර්යේෂණාගාර සංකීර්ණය ඒ අතර වේ. මෙම පුළුල් ජාලය නිසා දිවයින පුරා සියලුම පුරවැසියන්ට දැරිය හැකි මිලකට ප්‍රමුඛ පෙළේ රෝග විනිශ්චය සේවාවක් ලබා දීමට ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනයට හැකි වී ඇත.
Lanka Hospitals Corporation PLCහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික් ආයතනය (LHD) 2017 සිට වසර 6ක කාලයක් අඛණ්ඩව CAPහි පිළිගැනීමට ලක් වී තිබීම LHD සතු උසස්ම ප්‍රමිතීන්ට කදිම සාක්ෂියකි. දැරිය හැකි මිලකට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක සේවාවක් ලබා දීමේ ප්‍රමුඛයින් ලෙස නවෝත්පාදන හා නව තාක්ෂණය භාවිතයෙන් පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් ලබා දීමට ද LHD සමත් වී ඇත.
ඡායාරූපය - (වමේ සිට දකුණට) ජ්‍යෙෂ්ඨ මූල්‍ය සහකාර සඳුන් වජිර කුමාර, LHD පර්යේෂණාගාර ප්‍රධානී වෛද්‍ය ගීතානි ගලගොඩ, ප්‍රධාන අලෙවිකරණ නිලධාරී නිමල් රත්නායක, ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි, දරාස් මූල්‍ය සේවා සමාගමේ වාණිජ ප්‍රධානී නහීඩ් සයිනුඩීන්, කොකො වාණිජ ප්‍රධාන විධායක ශක්ති බානුක, ව්‍යාපාර සංවර්ධන විධායක ෆෙරෝස් අම්ජා, සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බද්‍රජිත් සිරිවර්ධන
Video Story