පිරමිඩ්වලට හවුල් වුණොත් දැඩි දඬුවම් – මහ බැංකුවෙන් අවවාදාත්මක නිවේදනයක්

    May, 31, 2023

    පිරමීඩකාර ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

    නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින්, බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බවයි.

    එම ආයතන වන්නේ,

    1. Tiens Lanka Health Care (Pvt) Ltd.
    2. Best Life International (Pvt) Ltd.
    3. Global Lifestyle Lanka (Pvt) Ltd.
    4. Mark-Wo International (Pvt) Ltd.
    5. V M L International (Pvt) Ltd.
    6. Fast 3Cycle International (Pvt) Ltd (F3C)
    7. Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
    8. OnmaxDT

    යම් තැනැත්තෙකු 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තියේ විධිවිධාන කඩකරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම හෝ එවැනි යෝජනා ක්‍රම කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    “එවැනි වරදක් සඳහා වන දඬුවම් ලෙස, වසර තුනකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ සිරදඬුවම් සහ දඩ යන දෙකම හෝ ඇතුළත් විය හැකිය. වරද සිදු කරන ලද්දේ සිතාමතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙනත් යම් තැනැත්තෙකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක එම පුද්ගලයා අවුරුදු තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සදහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන දෙකක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගීකරුවන්ගෙන් ලබාගත් බවට හෙලි වුන හෝ හෙලි කරන ලද එකතු මුදලේ දෙගුණයක වටිනාකමින්යුත් ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණයක් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකටද යටත් විය හැකිය.“, යනුවෙන් මහ බැංකුව අවධාරණය කර සිටී.