රුපියල රැක ගන්න මහ බැංකුව මැදිහත් වෙයි. බිලියන භාගයකට ආසන්න ඩොලර් ප්‍රමාණයක් විකුණයි

    September, 19, 2023

    2023 අගෝස්තු මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 467 ක්, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    මෙය 2023 වසරේ එක් මාසයක් තුළ මෙතෙක් අලෙවි කර ඇති වැඩිම ඩොලර් ප්‍රමාණයයි.

    මේ අතර දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 296.5 ක ප්‍රමාණයක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි. ඒ අනුව ශුද්ධ වශයෙන් මිලියන 170.5 ක ඩොලර් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී විකුණා දැමීමට මහ බැංකුවට සිදුව ඇත.

    සමස්තයක් වශයෙන් 2023 මුල් මාස 08 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 2,297.54 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 825.67 ක් අලෙවි කර ඇත.

    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා පසුගිය 2023 මාර්තු මාසය තුළ දී ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත් අතර එහිදී මහ බැංකුව අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යම් හෙයිකින් රුපියල මත පීඩනයක් ඇතිවන අවස්ථාවක දී එය පාලනය සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.