අප්‍රේල් සිට මෙරට ලිහිසි තෙල් වෙළඳ පොළ පොර පිටියක් වන ලකුණු

    March, 12, 2014

    ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ තවදුරටත් පුළුල් කරමින් ලිහිසි තෙල් අලෙවිය සඳහා අළුතින් තවත් සමාගම් 15 සිට 20 ක් දක්වා ප්‍රමාණයකට ලබන අප්‍රේල් මාසය වනවිට අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වේ.

    මේ වනවිට, මෙරට වෙළඳ පොළේ ලිහිසි තෙල් අලෙවිකරන සමාගම් 13 ක් තිබෙන අතර අළුතින් වෙළඳ පොළට පිවිසීම සඳහා සමාගම් 20 ක් පමණ අයදුම් පත් ලබාදී තිබේ.

    එසේ අළුතින් අයදුම් පත් ඉදිරිපත් කර ඇති සමාගම් පිළිබඳව තාක්ෂණික ඇගයීම් ලබන අප්‍රේල් මාසය වනවිට අවසන් කර එම සමාගම් වලට වෙළඳ පොළට පැමිණීමට අවස්ථාව ලබාදීමට අමාත්‍යංශය සැලසුම් කර ඇත.

    මෙහිදී, තාක්ෂණික ඇගයීම සතුටුදායක නම් මෙම සමාගම් සියල්ලටම මෙරට ලිහිසි තෙල් අලෙවි කිරීමට සඳහා අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.

    කෙසේවෙතත්, පසුගිය කාලයේදී කොළඹ තිබූ සමුළුවකදී අදහස් දැක්වූ ලංකා ඉන්දීය තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ සෞමන් ගන්ගුලි මහතා පැවසුවේ ඉතාමත් කුඩා ලිහිසි තෙල් වෙළඳ පොළක් තිබෙන ලංකාවේ ලිහිසි තෙල් වෙළඳාම සඳහා මෙතරම් සමාගම් ගණනකට අවස්ථාව ලබාදීම නිසා එම සමාගම්වල ව්‍යාපාරික කටයුතු කරගෙන යාම අපහසු වනු ඇති බවයි.

    ඉතාමත් දැවැන්ත වෙළඳ පොළක් තිබෙන ඉන්දියාවේ ලිහිසි තෙල් කර්මාන්තය තුළත් සිටින්නේ සමාගම් 25 ක් පමණක් බව ඔහු මෙහිදී පැවසීය.

    ඔහුගේ තවත් තර්කයක් වූයේ මෙරට ලිහිසි තෙල් කර්මාන්තයේ නිසි නියාමනයක් නොමැතිවීම නිසා මෙවැනි විශාල සමාගම් ගණනක් කුඩා වෙළඳ පොළක් වෙනුවෙන් තරග කිරීමේදී බාල නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් විය හැකි බවයි.

    මීට අමතරව, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ සිටින්නේ සමාගම් දෙකක් සහ විදුලි සංදේශ අංශයේද සිටින්නේ සමාගම් දහයකට අඩු ගණනක් බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.