November, 29, 2023
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ තමිල්නාඩුවේ මදුරෙයි අතර ගුවන් ගමන් ආරම්භ කර වසර 7 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි. මදුරෙයි නගරය වෙත පියාසර කරන, ඉන්දියාවට අයත් නොවන එකම ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි. මේ ඔස්සේ මදුරෙයි නගරය සහ කොළඹ නගරය අතර මෙන්ම, පොදුවේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය මහඟු මෙහෙවරක් ඉටුකර තිබේ.
“ඉන්දියාව ලෝකයේ විශාලතම සංචාරක සේවා වෙළඳපොළක් ලෙස මතුවෙමින් පවතින මෙවන් මොහොතක, මදුරෙයි සහ කොළඹ අතර ගුවන් ගමන්වල සත්වන සංවත්සරය සැමරීමට හැකි වීම අපගේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ඉන්දියාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් ලෝකය පුරා සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට හැකි වීමට අපට මහත් සතුටක්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.
මදුරෙයි නගරයේ වෙසෙන ජනතාවට විදෙස් රටවලට සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර තිබේ. මේ වනවිට සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් මදුරෙයි ගුවන් තොටුපළට විද්‍යුත් වීසා පහසුකම් හඳුන්වා දීමටද ඉන්දියානු ආගමන විගමන බලධාරීහු කටයුතු කළහ.
එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් හරහා මගීන්ට ඉතාමත් පහසුවෙන් මැද පෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෙතද ගමන් කළ හැකි වේ. විශේෂයෙන්ම රැකියාවන් සඳහා, අධ්‍යාපනය සඳහා සහ ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වන පුද්ගලයන්ට මෙන්ම විවේකය සඳහා පැමිණෙන සංචාරකයන්ටද වැඩි පහසුවක් හිමිවන ආකාරයෙන් මෙම ගුවන් ගමන් සැලසුම් කර ඇත.
මදුරෙයි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට, තම සංචාරක සේවා අංශය වන ශ්‍රීලංකන් හොලිඩේස් (SriLankan Holidays) ඔස්සේ සේවාවන් රාශියක් සැපයීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. ‘Ramayana Trail’ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකට හින්දු කෝවිල් සහ සිද්ධස්ථාන ආවරණය වන නිවාඩු පැකේජ මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයන්ට කල්තබා වීසා ලබාගැනීමකින් තොරව රටට ඇතුළු වීමට අවස්ථාව ලබාදීම ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමත් සමග, මදුරෙයි නගරයේ සිට පෙරටත් වඩා වැඩි සංචාරයකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සුන්දර හා සුවිශේෂී ස්ථාන දැකබලාගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලාංකිකයන්ටද ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් මදුරෙයි හි පිහිටා ඇති මීනාක්ෂි අම්මාන් කෝවිල ඇතුළු සුවිශේෂී ස්ථාන දැකබලාගැනීම සඳහා එම නගරය වෙත පියාසර කිරීමට අවස්ථාව හිමි වී ඇත. මේ ආකාරයට දෙරට අතර ජනතාවත් සංස්කෘතියත් සමීප කරවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී.
මීට අමතරව තමිල්නාඩුවේ චෙන්නායි සහ ට්‍රිචි වෙත ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී දෙරට අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටද සැලසුම් කර ඇත. එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ මුම්බායි, දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි සහ ත්‍රිවේන්ද්‍රම් යන නගර වෙතද ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට ඉන්දියාව වෙත සතියකට ගුවන් ගමන් වාර 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, එරට තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවාවක් ලෙස සැලකේ. වැඩිදුර තොරතුරු සඳහා සහ ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.


කොළඹ සහ මදුරෙයි අතර ගුවන් සේවාවන්ට සත් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයට මදුරෙයි නගරයේ සංචාරක නියෝජිත සමාගම්වල නියෝජිතයන්ද එක්ව සිටි අයුරු
ඡායාරූප: මදුරෙයි නගරයේ සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය මදුරෙයි සහ කොළඹ අතර ගුවන් ගමන්වල සත්වන සංවස්තරය සැමරූ ආකාරය
Video Story