December, 14, 2023
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 2022 වසරේ දී රු. මිලියන 11,076.10 ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති අතර එය 2021 වසරේ මුළු ආදායම වූ රු. මිලියන 2,678.72 හා සැසඳීමේ දී 313% ක වැඩිවීමක් වේ.
මෙහිදී දුම්රිය දොපර්තමේන්තුව පවසන්නේ සමස්ත ආදායමට ඇතුළත් සියලුම ආදායම් කාණ්ඩ 2022 දී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි. මගී ආදායම 2022 වසරේ දී රු. මිලියන 9,174.91 ක් වූ අතර එය 2021 වසර හා සසඳන විට මිලියන 7,556.50 ක වැඩිවීමකි. මෙලෙස ආදායම වැඩිවීම සඳහා කොවිඩ් වසංගත සමයෙන් පසුව ගමන් කරන ලද මගීන් සංඛ්‍යාවේ ඉහළ යාමත්, වසර මැද භාගයේ දී දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිවීමත් බලපා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2022 වර්ෂයේ දී මගීන් මිලියන 102.73 ක් දුම්රියෙන් ගමන් කර ඇති බවත් මගී කිලෝමීටර 6,602.24ක දුර ප්‍රමාණයක් එම වසරේ දී ධාවනය කර ඇති බවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර 2022 වසර තුළ දී භාණ්ඩ ටොන් මිලියන 1.75 ක් ප්‍රවාහනය කරමින් භාණ්ඩ ටොන් කිලෝමීටර මිලියන 138.68 ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම, ආදායම මෙන් සිව්ගුණයක් පමණ වේ. 2022 වසරේ දුම්රිය දොපර්තමේන්තුවේ සමස්ත වියදම රු. මිලියන 42,531.43 ක් ලෙසින් සඳහන් වන අතර එය 2021 වසරේ මුළු වියදම වූ රු. මිලියන 40,416.06 ට වඩා 5.2% ක ඉහළ යාමකි.
පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2022 කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story