සබරගමුවට බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ඉංග්‍රීසි

    December, 19, 2023

    සබරගමුව පළාතේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දී ඔවුන්ගේ භාෂා දැනුම හා ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඒ යටතේ ගුරුවරුන් 700 දෙනෙකු තෝරාගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත Teaching Knowledge Test (TKT) පාඨමාලාව මඟින් එම ගුරුවරුන්හට විධිමත් පුහුණුවක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

    සබරගමු පළාත් සභාවේ අරමුදල්වලින් යෝජිත පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 51ක පමණ මුදලක් ඇස්තමේන්තුගත කර ඇත.

    ඒ අනුව, එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සබරගමු පළාත් සභාව සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය අතර ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.