ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකය ජාත්‍යන්තර සම්මාන දිනාගනී

    December, 28, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන ඔරියන්ට් ෆිනෑන්ස් හී විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකය (Alternative Finance Business Unit -AFBU) මෑතක දී සිය ගමන් මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘South Asia’s Emerging Islamic Finance Entity of the Year’ ජාත්‍යන්තර සම්මානය දිනාගන්නට සමත් විය. දකුණු ආසියාවේ ඉස්ලාමික මුල්‍ය සමුහය (Islamic Finance Forum of South Asia -IFFSA) මඟින් මෙම සම්මානය ලබාදීම සිදු කරන ලද අතර මෙම සම්මානය සමඟින් විශිෂ්ටත්ව ඇගයීමක් ලෙස ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා 'South Asia's Islamic Finance Personality of the Year' සම්මානයට පාත්‍ර විය.

    “අපේ ළෙංගතු පාරිභෝගිකයන්ට සදාචාරාත්මක සහ ශරීයා නීතියට අනුකූල මුල්‍ය සේවා පහසුකම් ලබාදීම සහ ගුණාත්මක සේවාවක් උදෙසා අපේ කැපවීම වෙනුවෙන් මේ ලැබුණු ඇගයීම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා.”යැයි ඔරියන්ට් ෆිනෑන්ස් හී අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා, “මෙවන් සම්මාන තුළින් අපේ පාරිභෝගිකයන්ට අප පිළිබඳ ඇති විශ්වාසය සහ ළෙංගතුකම තවත් වැඩිවෙනවා මෙන්ම අපේ සේවා ප්‍රමිතීන් වැඩිදියුණු කරගනිමින් තවත් ඉහළට යන්නට අපිට ශක්තිය ලැබෙනවා. එසේම උසස් සේවාවක් ලබාදීම වෙනුවෙන් කළ ආයතනික කැපවීමට විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ ප්‍රධානී සහ ජේ්‍යෂ්ඨ කළමනාකරු ඉෆාත් සූරි මහතා ඇතුළු කණ්ඩායමට මගේ හද පිරි ස්තුතිය පුදකරන්න කැමතියි.”

    ඔරියන්ට් ෆිනෑන්ස් හී සේවා නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “2021 වසරේ රටටම පැමිණි අභියෝග අභිබවමින් ඔරියන්ට් ෆිනෑන්ස්  AFBU ඒකකය මුලින්ම හඳුන්වා දීමට අපි කටයුතු කළා. රටේ බොහෝමයක් මුල්‍ය ආයතන නව ව්‍යාපාර සඳහා ආයෝජනය නොකරන අවස්ථාවක අපි විකල්ප සේවා ලබාදීම වගේම මෙම ඒකකය නිර්මාණය වෙනුවෙන් ආයෝජනය කළා, වසර දෙකක් ඇතුළත අපි කළ ආයෝජනය සාර්ථක බව මේ සම්මාන වලින් අපට තහවුරු වෙනවා. දැන් අපි උපාය මාර්ගිකව අපේ මුල්‍ය ඒකක ස්ථානගත කරමින් අපේ ව්‍යාපාර වපසරිය ව්‍යාප්ත කරගන්න කටයුතු කරනවා. අපේ නිෂ්පාදන හා සේවා සියලු දෙනාට ලබාගන්නට හැකි පහසු තත්ත්වයක් ඇති කිරීම, ශරීයා නීතියේ ඇති ආචාර ධර්ම පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ ඉහළ ආචාර ධාර්මික වටිනාකම් පවත්වා ගනිමින් උසස් මුල්‍ය සේවා ලබාදීම අපේ අරමුණයි.”

    ලැබුණු ඇගයීම ගැන තවදුරටත් අදහස් දැක්වූ විකල්ප මුල්‍ය ව්‍යාපාර ඒකකයේ (AFBU) ප්‍රධානී සහ ජේ්‍යෂ්ඨ කළමනාකරු ඉෆාත් සූරි මහතා, “ ඔරියන්ට් ෆිනෑන්ස් හී විකල්ප මුල්‍ය ඒකකය ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර අයත් නැගෙනහිර පලාත පුරාම වේගයෙන් ව්‍යාප්ත කරන්න අපි කටයුතු කළා වගේම අපේ මුල්‍ය සේවාවන් ඉස්ලාම් ආචාර ධර්මවලට යටත්ව එම ප්‍රදේශවල සාර්ථකව පවත්වා ගෙන යනවා. අපි නුවර ප්‍රදේශයේ අපේ ප්‍රථම විකල්ප මුල්‍ය ඒකකය 2024 වසරේ මුල විවෘත විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවගේම පානදුර, ක`එතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් විකල්ප මුල්‍ය ඒකක ස්ථාපිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. තවද, “ඉජාරා, වකහ්ලා කාලීන ආයෝජන සහ මූරබ්භා වැනි ඉස්ලාමික මුල්‍ය සේවා හඳුන්වා දෙමින් වසර දෙකක් තුළ බිලියන 1.4ක් දක්වා අපේ මූල්‍ය ප්‍රාග්ධන හැකියාවන් වර්ධනය කරගන්නට සමත් වුණා. ඒවගේම වර්ධනය වෙන පාරිභෝගික උවමනාවන්ට අනුව 2024 අවසන් කාර්තුව තුළ අපි නව ඉස්ලාමීය මුල්‍ය සේවා හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.”

    සේවා ආරම්භ කළ මොහොතේ පටන් ස්වාධීන ශරීයා උපදේශකයෙකුගේ සේවාව ලබාගමින් ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විකල්ප මුල්‍ය ඒකකය ඉස්ලාමීය ආචාර ධර්මවලට අනුකූල මුල්‍ය සේවා ලබාදීමට තමන්ගේ ඉහළ කැපවීම පෙන්නුම් කර තිබේ. මෙම ස්වාධීන ශරීයා උපදේශකයන් විසින් අදාළ අරමුදල් විශේෂයෙන් වකාහ්ලා ආයෝජන නියම ශරියා ආචාර ධර්මවලට අනුකූල බවට සහ ව්‍යාපාර සේවා පවත්වාගෙන යන ආකාරය පූර්ණ ශරියා ආචාර ධර්මවලට අනුකූල බව සහතික කරයි. ගෘහස්ථ මුල්‍ය පිළිබඳ මනා අත්දැකීම් ලත් ඔවුන් අදාළ මුල්‍ය ක්‍රියාවලිය පිළිබඳව ශරියා නීතියට අනුකූල බව පිළිබඳව පරිපූර්ණ වාර්තාවක් ද පවත්වා ගෙන යාමට කටයුතු කරයි. සෑම ගනුදෙනුවක්ම සේවා මාර්ගෝපදේශයන්ට, මුල්‍ය රාමුවට සහ ආරක්ෂණ සේවාවන්ට අනුකූලතාව සහිතව පාරදෘශ්‍ය ආකාරයෙන් සිදුකිරීම වෙනුවෙන් දරණ කැපකිරීම තුළින් මෙම මුල්‍ය ඒකකයේ මූලික වටිනාකම් පදනම වන ඒකාත්මිකතාව, විශ්වාසය සහ අවංකකමේ අර්ථය මනාව පිළිඹිබු කරයි. විශේෂයෙන්ම ස්වාධීන ශරියා මුල්‍ය උපදේශකයන් විසින් ශරියා අනුකූලතා ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යය ද සිදුකරයි.

    මුල්‍ය ක්ෂේත්‍රයේ වසර 42ක ස්ථාවරත්වය, ශක්තිය, විශ්වාසනීයත්වය සහ විශේෂඥතාව ඔරියන්ට් ෆිනෑන්ස් ආයතනයේ විශිෂ්ටත්වයේ පදනම වෙයි.  නව්‍ය සහ පුළුල් වූ මුල්‍ය නිෂ්පාදන සේවා හඳුන්වා දෙමින් ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සිය සේවා පාරිභෝගික අවශ්‍යතාව කේන්ද්‍ර කොට ගෙන ස්ථාපිත කොට තිබේ. ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලැයිස්තු ගත සමාගමක් වන අතර LRA වල BB+ (stable) ශ්‍රේණි ලබා තිබෙයි.