2023 දී කොටස් වෙළෙඳපොළේ 25%ක වර්ධනයක්

    January, 1, 2024

    පසුගිය 2023 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 25.50% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.

    2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය ‌දෙසැම්බර් 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    ඊට අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, වසර ආරම්භයට සාපේක්ෂව 25.50% ක වර්ධනයක් වාර්තා කර ඇත.

    2023 වසර ආරම්භයේ දී සියලු ‌කොටස් මිල දර්ශක අගය ඒකක 8,489.66 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර එය 2023 වසර අවසානයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මේ අතර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රධාන පෙළේ සමාගම් 20 ක් ඇසුරින් සකස් කෙරෙන S&P SL20 දර්ශකයට අනුව 2023 වසරේ ‌දී එය 16.42% කින් ඉහළ ගොස් තිබේ.

    වසර ආරම්භයේ දී ඒකක 2,635.63 ක් ලෙසින් සටහන්ව තිබූ S&P SL20 දර්ශක අගය පසුගිය දෙසැම්බර් 29 වන දා ගනුදෙනු අවසානයේ දී ඒකක 3,068.36 ක් ලෙසින් වාර්තා වී තිබුණි.