සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මත්පැන් සඳහා වූ සුරාබදු නිවේදනයන් හි සංශෝධන සිදුකරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව පහත පරිදි අදාළ බදු ඉහළ දමා ඇත.
- ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 6,000 ක් වන බද්ද රු. 6,840 ක් දක්වා.
- ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වු ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම්කළ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 6,420 ක් වන බද්ද රු. 7,320 ක් දක්වා.
- ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සෑදූ “විදේශීය” ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 6,600 ක් වන බද්ද රු. 7,525 ක් දක්වා.
- ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂ සැර සියයට පහක් (5%) සහ ඊට අඩු වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/ නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රු. 4,750 ක් වන බද්ද රු. 5,415 ක් දක්වා.
- ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂ සැර සියයට පහකට (5%) වඩා වැඩි වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/ නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රු. 4,980 ක් වන බද්ද රු. 5,680 ක් දක්වා.
- රා හෝ වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදු මත්පැන් හැරුණුකොට තාල වර්ගයේ ගසකින් හෝ වෙනත් ඕනෑම පැළෑටියකින් ලබා ගන්නා ස්වභාවික නිෂ්පාදන ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 4,750 ක් වන බද්ද රු. 5,415 ක් දක්වා.
- මධ්‍යසාර ප්‍රතිශතය 18%ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ දේශීය පානීය සත්ත්ව කිරි මඟින් හෝ පමණක් ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ මත්පැන් සඳහා මධ්‍යසාර සෑම ලීටරයකටම රු. 1,300 ක් වන බද්ද රු. 1,480 ක් දක්වා.
- ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සෑදු කිරි පොන්සා මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 3,300 ක් වන බද්ද රු. 3,760 ක් දක්වා.
- ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සෑදු සයිඩර් ලේබලයේ සඳහන් නිරපේක්ෂ සැර සියයට හතරකට (4%) නොවැඩි මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකට ම රු. 3,600 ක් වන බද්ද රු. 4,105 ක් දක්වා.
මේ අතර ඉහත (1) සිට (9) දක්වා නිශ්චිතව සඳහන් කර ඇති බද්ද, අපනයනය කරනු ලබන මත්පැන් කවර ප්‍රමාණයක් සම්බන්ධයෙන් වූව ද එකී බද්ද අය නොකළ යුතු යැයි ද, ඉහත අයිතම (4) සහ (5) යටතේ නිශ්චිතව සඳහන් කර ඇති බද්ද, යම් විදේශීය රටක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින යම් තානාපති දූත මණ්ඩලයකට ප්‍රයෝජනය සඳහා නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ලද මත්පැන් ඕනෑම ප්‍රමාණයක් සඳහා කළ යුතු ගෙවීම් ඒ තානාපති දූත මණ්ඩලයේ විදේශීය ගිණුම්වලින් කරනු ලැබේ නම් ඒ මත්පැන් ප්‍රමාණය වෙනුවෙන් ඉහත කී බද්ද අය නොකළ යුතු යැයි ද යනුවෙන් ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම නියමයන් අද (2024 ජනවාරි 01) දින සිට බලපැවැත්වෙනු ඇත.