දුම්රිය, ත්‍රීවීල්, පාසැල්/ කාර්යාල ප්‍රවාහන ගාස්තු තීරණය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට

    January, 2, 2024

    දුම්රිය ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු, කාර්යාල ප්‍රවාහන ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු යනාදී සියල්ල තීරණය කිරීමේ බලය, ජාතික ගමනාගමන කොමිසම වෙත පවරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස තමන් උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී.

    ජාතික ගමනාගමන කොමිසමට බලය ඇත්තේ බස් ගාස්තු තීරණය කිරීමට පමණක් බවත්, අදාළ පනත වෙනස් කරන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    “මම ඊයේ දැනුම් දුන්නා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න, දුම්රිය ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු, කාර්යාල වාහනවල ගාස්තු, පාසල් ළමුන් ගෙන යාමේ ගාස්තු යනාදිය සියල්ල තීරණය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට දෙන්න කියලා. එතකොට වඩා සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇතිවෙයි“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.