2023 දී ශ්‍රී ලංකා රේගුව වාර්තාගත ආදායමක් උපයයි

    January, 3, 2024

    ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වී තිබේ. එය රු. බිලියන 970 ක් වන අතර මීට පෙර රේගුව උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේ දී වාර්තා වී ඇති අතර එය රු. බිලියන 923 ක් වේ.

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2023 වසර මුල දී මුදල් අමාත්‍යාංශය විසින් රේගුවට රු. බිලියන 1,217 ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබූ අතර රට තුළ පැවති අයහපත් මූල්‍යමය වාතාවරණය සහ පනවා තිබූ ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රු. බිලියන 893ක් දක්වා පසුව සංශෝධනය කරන ලදී.

    2023 වසරේ දී රේගුව උපයා ගත් රු. බිලියන 970 ක මුදල සංශෝධිත ඉලක්කය ඉක්මවා 109% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර එය වසර මුල ලබා දී තිබූ ඉලක්කයෙන් 80%ක් ඉක්මවා යාමකි.

    2022 වසරේ දී රේගුවට ලැබී තිබූ ආදායම් ඉලක්කට රු. බිලියන 730 ක් වූ අතර එම වසරේ දී රේගුව ඉපැයූ ආදායම රු. බිලියන 708 කි. ඒ අනුව 2022 වසරට සාපේක්සව 2023 වසරේ දී 138% ක පමණ ආදායම් වර්ධනයක් පෙන්නුම් කරයි.