January, 4, 2024
රටේ සමස්ත ආදායමෙන් 60% ක් පමණ බෙදී ගොස් ඇත්තේ සමස්ත ජනතාවගෙන් 20% ක පමණ කොටසකට බවත්, සංඛ්‍යාත්මකව එය ලක්ෂ 50 ක පමණ පිරිසක් වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා පවසයි. ඒ මහතා පවසන්නේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) නිකුත් කිරීම තුළින් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ එම ලක්ෂ 50ක පිරිස හඳුනාගැනීම බවයි.
අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද (04) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

“වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාටම බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) නිකුත් කළොත් මිලියන 20 ක් පමණ නිකුත් කරන්න පුළුවන්. ඇත්තටම මෙතන අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ අර කියන ආදායම් ලබන කාණ්ඩය. උදාහරණයක් කිව්වොත් පහුගිය අවුරුද්ද වන විට රටේ සමස්ත ආදායම් රු. බිලියන 28,000 ක් උපයනවා. ආර්ථික විද්‍යානුකූලව කියන්නේ ආදායම් විෂමතාවයක් තියෙනවා, ආදායම් බෙදී ගිහිල්ලා තියෙන ආකාරය බැලුවොත් ඉහළම ආදායම් ලබන කණ්ඩාය 20% ක් විතර ඉන්නවා, ඒ කණ්ඩායමට සමස්ත ආදායමෙන් 60%කට වඩා බෙදිලා තියෙනවා කියන එක. 20% ක් කියලා කිව්වොත් පුද්ගලයෝ ලක්ෂ 50 ක්. අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුනා ගැනීම. ඒ නිසා අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට ස්වෙච්ඡාවෙන් ලියාපදිංචි කිරීම සිද්ධ වෙන අතරතුර අර කියන ඉහළම ආදායම ගන්නා කණ්ඩායම ඉලක්ක කර ගැනීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ, ලිපිගොනු විවෘත කිරීම තුළින්. මොකද ඒගොල්ලන්ගෙන් තමයි සැබෑ ආදායමක් අපට බදු ආදායමක් බවට ලබාගැනීමේ හැකියාව තියෙන්නේ.“
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූ BIG FOCUS සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.
Video Story