බීඩි කර්මාන්තය ගැන සාකච්ඡාවක්

    January, 4, 2024

    බීඩි කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර

    බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී මතුව ඇති ගැටළු සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    ඒ අනුව බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම අමුද්‍රව්‍ය නීති විරෝධී අයුරින් ආනයනය වැළැක්වීම සඳහා පියවර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය ‍යොමු කෙරිණි.

    තවද ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවයකට පැමිණීම මෙහිදී සිදු වූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

    කපා සකසන ලද තෙන්දුකොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සාගල රත්නායක මහතා, මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.