January, 11, 2024
කොළඹ කොටස් හුවමාරුව තුළ (CSE) යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) අනුමත කර තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ මෙම සුවිශේෂී තීරණය, රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අදාළ විදේශීය හා දේශීය ආයෝජන ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත. ආර්ථික වර්ධනයට සහ තිරසාරභාවයට අත්‍යවශ්‍ය වන්නාවූ මහාමාර්ග, දුම්රිය, ජල කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, ගුවන් තොටුපළ, වරාය, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, ස්වාභාවික විපත් ආරක්ෂණ පද්ධති, ගැඹුරු ජල වරායන්, ගෑස් සැපයුම් පද්ධති, උපයෝගිතා ව්‍යාපෘති, විදුලි සංදේශ යටිතල පහසුකම් වැනි වැදගත් ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම යටිතල පහසුකම් බැඳුම්කරවල අරමුණයි.
යටිතල පහසුකම් බැඳුම්කර සඳහා වෙළෙඳපොළක් සංවර්ධනය කිරීම මගින් යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය දිගුකාලීන ප්‍රාග්ධනය රැස් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ. නැඟී එන ආර්ථිකයන්හි යටිතල පහසුකම් සංවර්ධන විෂය පථය මෑත දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර වර්තමානයේදී, බලශක්තිය, තෙල් හා ගෑස්, ජලය වැනි සම්ප්‍රදායික යටිතල පහසුකම් ව්‍යාපෘති මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැනි අඩු කාබන්, දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඇතුළත් පුළුල් පරාසයකින් සමන්විත වේ.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම සඳහා ලයිස්තුගත යටිතල පහසුකම් බැඳුම්කර සාර්ථකව භාවිතා කර ඇති රටවල් පිළිබඳව සංසංදනාත්මක අධ්‍යයනයක් සිදු කරන ලදි.
ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සංවර්ධනය, විනිවිදභාවය සහ ආයෝජක විශ්වසනීයත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් සකස් කර ඇති අතර එයට ප්‍රධාන ක්ෂේත්‍ර 12ක් නියෝජනය කරනු ලබන ක්‍රියාකාරකම් ඇතුළත් වේ. යටිතල පහසුකම් මූල්‍ය උපකරණ හඳුන්වාදීම මෙම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ එක් අංගයක් වන අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ නව තලයකට ගෙනයාමට සහ එහි වර්ධනයට සහ තිරසාරභාවයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇත. ඒ අනුව, කොළඹ කොටස් හුවමාරුව මෙම නව උපකරණ නිකුත් කිරීමට හැකියාව ඇති පාර්ශව අතර ක්‍රියාකාරීව දැනුවත් කිරීම් කරනු ඇතැයි අපෙක්ෂා කරයි.
යටිතල පහසුකම් බැඳුම්කර සඳහා පවතින නියාමන රාමුව තුළ ආයෝජක ආරක්ෂාව, නිසි සුදුසු පූර්වාරක්ෂාවන්, හෙළිදරව් කිරීම් සහ වාර්තා කිරීමේ අවශ්‍යතා, යටිතල පහසුකම් සමාගම් විසින් ව්‍යාපෘතිවල ප්‍රගතිය ආයෝජකයින්ට වාර්තාකිරීම, බැඳුම්කර මගින් ලබාගත් අරමුදල් යෙදවූ ආකාරය, යටිතල ව්‍යාපෘති වල තිබෙන අවදානම් මෙන්ම නියාමන රාමුවට අනුකූල නොවන සමාගම්වලට එරෙහිව ගනු ලබන බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග යන වගන්ති ඇතුළත් වේ. හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවලට යටිතල ව්‍යාපෘති වල විස්තර මෙන්ම අරමුදල් යෙදවීම, ව්‍යාපෘතිවල අරමුණු ඉටු කිරීම සහ මහජනයාට ලැබෙන ප්‍රතිලාභ, අරමුදල් යෙදවීමේදී පවතින විෂමතා ඇතුළත් වේ. මෙම ක්‍රියාකාරකම තුළින්, රටේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට සහාය වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා වැදගත්වන දිගුකාලීන ආයෝජන වලට සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමට සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ඇති කැපවීම පිළිබිඹු කරයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ෆයිසාල් සාලි මහතා ප්‍රකාශ කළේ, "ප්‍රාග්ධනය නිසි ලෙස යොමු නොකිරීම අපගේ ආර්ථික අර්බුදයට මූලික හේතුවකි. සංවර්ධන ව්‍යාපෘති සඳහා දිගු කාලීන ප්‍රාග්ධනය රැස් කළ හැකි උපකරණ හඳුන්වාදීම සහ එම ප්‍රාග්ධනය ව්‍යාපෘතියේ ප්‍රකාශිත අරමුණ සඳහා විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතුව වෙන් කරන බවට වගබලා ගැනීම අපගේ අරමුණයි. මහනගර සභා, නගර සභා, පළාත් පාලන ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය වැනි රජයේ ආයතනවලට සහ පෞද්ගලික අංශයේ විශාල සමාගම්වලට පවා මෙම බැඳුම්කර හරහා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට අපි දැන් අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා."
Video Story