January, 16, 2024
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පසුගිය ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය වෙත පැමිණියහ. ඒ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිත හමුවීම් හා සාකච්ඡාවල එක් අදියරයක් වශයෙනි.
ඔවුන් පිළිගැනීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ්‍රයේදී දික්හේන විද්‍යාලයේ දරුදැරියන් පිරිසක් විසින් විශේෂ නර්තනයක් ඉදිරිපත් කරන ලදි. ඉන් අනතුරුව ඔවුහු බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේදී රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසවේදී ජෝර්ජ් කුක් විසින් ඉදිරිපත් කරන ලද ‘Arches of Awe’ ප්‍රදර්ශනය නැරඹූහ. 1954 වර්ෂයේදී දෙවැනි එළිසෙබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සඳහා කොළඹ නගරය පුරා ඉදිකරන ලද තොරණ් 21 ක ඡායාරූප ‘Arches of Awe’ ප්‍රදර්ශනයට ඇතුළත් විය. මෙවැනි තොරණ් ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව, තායිලන්තය සහ වියට්නාමය වැනි ආසියානු රටවල සංස්කෘතිය හා සම්ප්රදාය හා බැඳුණු අංගයක් වන අතර, වාසනාව හා ජයග්‍රහණය සංකේතවත් කරන මෙබඳු තොරණ් අමුත්තන් පිළිගැනීම සඳහාද ඉදිකරනු ලැබේ.
ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් තිමති ලෝරන්ස් මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග සමීපව කටයුතු කරන කලා සංවිධානවල නියෝජිතයන් හමු වූහ. මෙය එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවන්ට වසර 75 ක් සපිරීම සැමරීමක්ද විය. Museum of Modern Art (MMCA), The National Trust Sri Lanka, Design Development Corporation, Ceylon Theatres, Scope Cinemas, Agenda14 සහ The Gratiaen Trust ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. ඔවුන් විසින් මෙහිදී පහත සඳහන් ව්‍යාපෘති ඇතුළුව, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහයෝගය ඇතිව ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘති රැසක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලදි.
ඉන් අනතුරුව ‘British Council Teaching Centre’ හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ‘English-Speaking Union in Sri Lanka’ හි සභාපති උපාලි රත්නායක මහතා විසින් රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් සාදරයෙන් පිළිගන්නා ලද අතර, එහිදී ඔවුහු කථික තරගයක ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීමටද එක්වූහ.
එමෙන්ම එක්සත් රාජධානිය සමග සමීප සම්බන්ධතා පවත්වන සහ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවලින් උපාධි ලැබූ නවක විලාසිතා නිර්මාණකරුවන් හා නිර්මාණකාරියන් පිරිසකට රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් හමු වී මෙරට රෙදිපිළි, ඇඟලුම් හා විලාසිතා කර්මාන්තය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත්, තම නිර්මාණ ඔවුන් හමුවේ ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාව ලැබිණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ 75 වන සංවත්සරය නිමිත්තෙන් එම යුවළ වෙත සමරු ඵලකයක් පිළිගන්වන ලදි.
මෙහිදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පිළිගැනීමට ලැබීම අප ලැබූ භාග්‍යයක්. ඔවුන් කොළඹ පිහිටි අපගේ කාර්යාලය වෙත පැමිණීම, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරන අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. 1949 වර්ෂයේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙම වසරේදී 75 වන සංවත්සරය සමරනවා. එමෙන්ම 1934 වර්ෂයේදී ආරම්භ වූ බ්‍රිතාන්‍ය කවුන්සිලයට මෙම වසරේදී වසර 90 ක් සපිරෙනවා. පසුගිය වසර 75 ක කාලය තුළ, විධිමත් සහ විධිමත් නොවන අධ්‍යාපන අවස්ථා සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ඔස්සේ මෙරට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවකට තම දියුණුව සාක්ෂාත් කරගැනීමට අවස්ථාව ලබාදීමට අපට හැකි වුණා. අප ඉටුකරන මේ සුවිශේෂී මෙහෙවරෙන් බිඳක් මෙලෙස අපගේ ගෞරවණීය අමුත්තන් හමුවේ ගෙනහැර දැක්වීමට හැකි වීම අපට මහත් සතුටක්.”


Video Story