January, 18, 2024
මෙරට ජනතාව වෙත සේවා සැලසීම වෙනුවෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම සංවිධානයක් වන සර්වෝදය, ශ්‍රී ලංකාවේ විශාලතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch සමඟ එක් වෙමින් ‘ගොවිලැබ්’ කෘෂි තාක්ෂණික වැඩසටහන දියත් කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි. මෙම ජාතික වැඩසටහන, ඉන්දියාවේ PwC හි සහාය ඇති ව ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සමග Bill & Melinda Gates පදනම එක් ව ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනය (IDAT) ව්‍යාපෘතියේ කොටසකි.
IDAT ව්‍යාපෘතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින්, ඩිජිටල්කරණය වූ කෘෂිකාර්මික පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් කුඩා හා මධ්‍යපරිමාන ගොවියන් සවි බල ගැන්වීම මෙන් ම ඒ හරහා ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වැනි ප්‍රධාන අවශ්‍යතාවලට විසඳුම් ලබා දීම ගොවිලැබ් වැඩසටහනේ අරමුණයි.
“ගොවිලැබ් යනු කෘෂි තාක්ෂණික ක්‍රමවේද හා තිරසාර නවෝත්පාදන හඳුන්වා දීම කෙරෙහි අපගේ අවධානය යොමු කරන Hatch Green සමඟ සමපාත වන වැඩසටහනක්. ශ්‍රී ලංකාව පුරා සිටින කුඩා හා මධ්‍යපරිමාන ගොවියන් සවි බල ගැන්වීමට සහ ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ක්ෂේත්රය වෙත නවෝත්පාදනයන් හඳුන්වා දෙමින්, ඔවුන්ගේ අභියෝග ජය ගැනීම සඳහා විසඳුම් සහිත නව තාක්ෂණයන් හඳුනාගෙන ඒ සඳහා සහයෝගය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Hatch හි ප්‍රධාන වැඩසටහන් නිලධාරී මෙවන් පීරිස් මහතා පැවසුවේය.
නවෝත්පාදනයන් පෝෂණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Hatch, සාමාජිකයින් 1000කට අධික සංඛ්‍යාවකින් සහ වර්ග අඩි 65,000 ක වැඩ අවකාශයකින් සමන්විත වේ. ජාත්‍යන්තර සංවර්ධන ආයතන, පුණ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සහ ප්රමුඛ පෙළේ සමාගම් ඇතුළු හවුල්කරුවන් රැසක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන Hatch වර්තමානය වන විට මෙරට ව්‍යාපාරික ප්‍රජාව සවි බල ගැන්වීම වෙනුවෙන් Incubator සහ Accelerator වැඩසටහන් 18ක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර 700කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දීමට ද කටයුතු කර ඇත.
“වසර 65කට අධික කාලයක්, රට පුරා සිටින බිම් මට්ටමේ ගම්මාන 15,000කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වෙමින්, ඔවුන් සවි බල ගැන්වීමට කටයුතු කර ඇති සර්වෝදය සංවිධානය සතු අත්දැකීම් සමඟ Hatch සංවිධානයේ ප්‍රවීණත්වය එක් වීමෙන් මේ රටේ ජනතාවට පරිපූර්ණ වගේ ම විශිෂ්ට සේවාවක් ලබා දීමේ අවස්ථාව උදා වී තිබෙනවා. මෙම සහයෝගීතාව ඔස්සේ ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ක්ෂේත්රය බල ගන්වමින්, එම අංශය හා සම්බන්ධ ප්‍රජාව වෙත අද්විතීය ප්රතිලාභ රැසක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් සර්වෝදය සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා පවසා සිටියේය.්
ගොවිලැබ් කෘෂි තාක්ෂණික වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමයි. නව විසඳුම් සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර හඳුනා ගනිමින්, එම ව්‍යාපාර සඳහා සහාය ලබා දීම මෙන් ම, අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික අංශය ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කුඩා හා මධ්‍යපරිමාන ගොවියනට සහයෝගය දැක්වීම සඳහා රටේ කෘෂි තාක්ෂණය වැඩි දියුණු කිරීම මෙම අරමුණු අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙම වැඩසටහනේ පළමු අදියරේ දී කුඩා හා මධ්‍යපරිමාන ගොවියන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝග සහ ඒවා වෙත රජයේ අවධානය යොමු කරවන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ‘ගොවිලැබ්’ කෘෂි තාක්ෂණික වැඩසටහනේ පළමු කණ්ඩායම අයදුම් පත් කැඳවීමේ ක්‍රියාවලියක් හරහා තෝරා ගනු ලබන අතර, මාස 6ක කාල සීමාවක් තුළ ඔවුන්ගේ තාක්ෂණික භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ගොවිලැබ් කෘෂි තාක්ෂණික වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම ඉලක්ක කරගත් තාක්ෂණික විසඳුම් නිර්මාණය කර හා පරීක්ෂා කර ඇති ආරම්භක මට්ටමේ නවකයින්ට අයදුම්පත් යොමු කළ හැකි අතර, මෙම වැඩසටහනට සහභාගි වීම සඳහා අවස්ථාව හිමි වන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමේ ප්‍රමුඛතම කොටස් කරුවන් බවට පත් විමට අවස්ථාවක් ඇත.
මෙම වැඩසටහන සඳහා අයදුම් පත් කැඳවීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වී ඇති අතර ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට සිය අයදුම් පත් ඉදිරිපත් කළ හැකිය. වැඩි විස්තර සඳහා lalindri@hatch.lk හා සම්බන්ධ වන්න.
නවෝත්පාදනය, සහයෝගීතාව සහ තිරසාර විසඳුම් හරහා ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ගොවිලැබ් කෘෂි තාක්ෂණික වැඩසටහන සමඟ එක් වන්න.

Video Story