ආසියාවේ ධනවත්ම බාල පුතාගේ මඟුල් ගෙදරට ලොව පුරා ධනවතුන් රැසකට ආරාධනා

    February, 26, 2024

    ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹෙන Reliance Industries සභාපති මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය මෙම වසරේ ජූලි මස 12 දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

    චාරිත්‍රානුකූලව මංගලෝත්සවයට පූර්වයෙහි පැවැත්වෙන Pre-wedding festivities උත්සව, එළඹෙන මාර්තු 01 දින සිට 03 දක්වා පුරා දින 3 ක් ගුජරාට් හි Jamnagar හිදී පැවැත්වෙනු ඇත.

    ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ලොව පුරා ව්‍යාපාරික නායකයින් ඇතුළු ධනවතුන් රැසක් මෙම Pre-wedding festivities සඳහා ආරාධනා ලැබ ඇති බවයි.

    මාක් සකර්බර්ග් (ෆේස්බුක්), බිල් ගේට්ස් (මයික්‍රොසොෆ්ට්), සුන්දරා පිචයි (ගූගල්), ටෙඩ් පික් (මෝර්ගන් ස්ටැන්ලි), මෙක්සිකෝ ධන කුවේරයකු වන Carlos Slim, ගෞතම් අදානි, සුනිල් මිට්ටාල්, Berkshire Hathaway නියෝජ්‍ය සභාපති Ajit Jain, ගොඩ්රිජ් පවුල ඇතුළු ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයින් රැසක්  ඒ අතර වන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

    ඇමරිකානු ඩොලර් බිලියන 109 කට අධික වත්කම්වලට හිමිකම් කියනු ලබන මුකේෂ් අම්බානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 11 වැනියා වේ. ආනන්ත් අම්බානි, මුකේෂ් අම්බානි සහ නීතා අම්බානි යුවළගේ බාලපුත්‍රයා යි. ඔවුන්ගේ වැඩිමහල් දරුවන් වන ඉෂා අම්බානි සහ ආකාෂ් අම්බානි නිවුන්නුන් බව සඳහන්ය.

    ආනන්ත් විවාහ වනු ලබන්නේ රධිකා මර්චන්ට් සමඟිනි. ඇයගේ පියා කීර්තිමත් ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන Encore Healthcare හි ප්‍රධාන විධායක නිලධාරියා වේ. රධිකා මේ වන විට Encore Healthcare සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙසින් කටයුතු කරනු ලබයි..

    Pre-wedding festivities සඳහා ආරාධනා ලැබ ඇති ලොව ප්‍රමුඛතම ධනවතුන් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් කිහිප දෙනෙකුගේ නම් පහතින් දැක්වේ.