කාබනික පොහොර, ජාතික පොහොර ප්‍රතිපත්තියට

    February, 29, 2024

    කාබනික පොහොර භාවිතය මෙරට ජාතික පොහොර ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පැවසීය.

    මේ පිළිබදව  සාකච්ඡා වුයේ  ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    කෙටි, මධ්‍ය කාලීන හා  දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කමිටුව විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වන සංකල්පමය ප්‍රතිපත්ති මෙදින සළකා බලන ලද අතර සැළැස්ම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට යෝජනා කරන ලදී.

    කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව  සෑම ප්‍රදේශයකම ගොවීන් දැනුවත් කිරීමට සැලසුම් සකස් කරන බව කමිටු සභාපතිවරයා පැවසුවේය. කාබනික පොහොර යොදා ගනිමින් ගොවිතැන් කරන ආදර්ශ කෘෂිකාර්මික ගොවිපළ වෙත සෘජුවම ගොස් එහි තත්ත්වයන් සොයා බැලීමට යොමුවන  බවද ඔහු  ප්‍රකාශ කළේය.

    එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා පොහොර භාවිතය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළහොත් සාධනීය වෙනසක් ඇති කළ හැකි බව ද  පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, සුදත් මංජුල යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.