March, 4, 2024
ශ්රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවීමට පියවර ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට (De-list) තීරණය කර ඇති බව පසුගිය සතියේ දී දැනුම් දුනි.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්රධාන කොටස්කරුවා වන්නේ ජපානයේ SG Holdings Global Pte Ltd සමාගමයි. ඔවුන් සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 82.43%කට මේ වන විට හිමිකම් කියනු ඇත. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්රධාන විධායක නිලධාරියා වන හනීෆ් යූසුෆ් මහතා සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 7.52%කට හිමිකම් කියනු ලබන අතර ඔහු විසින් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ තීරණයට එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව හනීෆ් යූසුෆ් මහතා සතු කොටස් ප්රමාණය SG Holdings Global Pte Ltd වෙත විකුණා දැමුවහොත් සමාගමේ සුළුපරිමාණ කොටස් හිමියන් සතු කොටස් ප්රමාණය සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 10% කට වඩා අඩු අගයයක් ගනු ඇත.
එහිදී සුළුපරිමාණ කොටස් හිමියන්ට ඔවුන් සතු කොටස්, කොටසක් රු. 185 බැගින් SG Holdings Global Pte Ltd වෙත අලෙවි කිරීමේ අවස්ථාව හිමිවේ.
මෙම පසුබිම තුළ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (04) සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් පියවර ගෙන තිබේ.
මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම සිය කොටස්කරුවන් වෙත දැනුම් දී සිටින්නේ මේ සම්බන්ධයෙන් 2024 මාර්තු 27 දින අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ඇති බවයි. මෙම අතිවිශේෂ මහා සභා රැස්වීම එදින පස්වරු 4.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
Video Story