ලොකු සල්ලිකාරයෝ 100ක් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුව සෙවිල්ලෙන්

    March, 8, 2024

    ඉහළ වත්කම් සහිත පුද්ගලයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමීප අවධානය යොමු කරයි.

    ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාවය පිළිබඳව  ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඉහළ ආදායම් ලබන සහ ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ අධීක්‍ෂණයන් කිරීම සඳහා විශාල  බදු ගෙවන්නන්ගේ කාර්යාලය යටතේ පිහිටුවා ඇති ඉහළ වත්කම්  සහිත පුද්ගල අංශය වෙත අතිරේක​ නිලධාරින් සහ  තාක්ෂණික පහසුකම් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය තුළ සාධාරණත්වය සහ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරක් වන​ මෙයින් ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම ආදායම සඳහා නිවැරදි බදු මුදල ගෙවා තම දායකත්වය ලබා දෙන්නේද යනබව තහවුරු කර ගනු ලැබේ.

    මෙහි ප්‍රථම පියවර වශයෙන්, මෙම අංශය විසින් හඳුනාගත් ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් වාර්තා කිරිම් යාවත්කාලිීන වී තිබේද යන්න, තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇත. තවද එම පුද්ගලයන් සහ ඔවුන්ගේ උපදේශකයන් සමඟ සමීපව කටයුතු කරමින් ආදායම් වාර්තා කිරීමේ ක්‍රියාවලියේ දී සිදුවිය හැකි දෝෂ සහ අඩුපාඩු කලින් හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කරනු ඇත. මෙම අංශය විසින් ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන් හදුනාගැනීම සඳහා අතිරේක අවදානම් තක්සේරු කිරීම් සහ බදු ගෙවන්නන් සම්බන්ධ මුල්‍ය ගනුදෙනු සහ ඔවුන්ට සම්බන්ධ සියලුම ආයතන හා තැනැත්තන් හඳුනාගැනීම සිදු කරනු ඇත.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනනුකූලතාවය හඳුනාගැනීමට උපකාරී වන  තොරතුරු ලබා ගැනීම සඳහා දේශීය  මෙන් ම ජාත්‍යන්තර සංවිධාන සමඟ පවතින සහයෝගීත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරනු ලැබේ. මුල්‍ය ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ ශ්‍රී ලංකාව සහ​ විදේශ රාජ්‍යයන් 45 ක් සමඟ පවතින පුළුල් ගිවිසුම් ජාලය හරහා වෙනත් බදු පරිපාලන ආයතන සමඟ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමීපව කටයුතු  කරනු ලැබේ. මෙතෙක් හෙළිදරව් නොකරන ලද ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ ආදායම් සහ අනෙකුත් වත්කම් හඳුනාගැනීම සඳහා මෙම සහයෝගිතා උපකාරී වේ.

    ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ බදු අනුකූලතාවය නිරන්තර අධීක්ෂණය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැපවී සිටියි. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් වෙත​ වැඩි අවධානයක් යොමු කිරීම​ සහ​ ඔවුන් හා සමීපව කටයුතු කිරීම ඉහළ නැංවීම මඟින් ඔවුන් විසින් නියමිත බදු මුදල් ගෙවන බවට තහවුරු කර ගත හැකිය යන්න අපගේ විශ්වාසය වේ. මෙම ප්‍රවේශය හරහා, රට මුහුණ දී සිටින තීරණාත්මක සමාජ-ආර්ථික ගැටලු ජය ගැනීම සඳහා රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රයත්නයන්ට සහභාගී වීමට සහ දායක වීමට ඔවුන්ගේ ඇති කැමැත්ත වැඩි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

     

    ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර

    කොමසාරිස් ජනරාල්

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

    ප්‍රශ්න හා පිළිතුරු  

                   

    1. ඉහළ ධනවත් පුද්ගල අංශය (HWI අංශය)වෙත කොපමණ සම්පත් දායකයන් සංඛ්‍යාවක් අනුයුක්ත කර තිබේද?

    පිළිතුරු.   HWI අංශය වෙත දැනට සම්පත් දායකයන් 10 දෙනෙකු අනුයුක්ත කර තිබේ. එම   කණ්ඩායම විගණනය, නීතිය, විශාල බදු ගෙවන්නන්ගේ විගණනය හා සංඛ්‍යානය යන ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.

     

    1. ඔබ ඉහළ වත්කම් සහිත පුද්ගලයකු නිර්වචනය කරන්නේ කෙසේද?

    පිළිතුරු. ඉහළ වත්කම් සහිත පුද්ගලයා සඳහා දැනට සකස් කර ගත් නිශ්චිත අර්ථ දැක්වීමක් නොමැත. මෙම නිර්වචනය රටකින් රටකට විවිධාකාර වේ.  HWI අංශය ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන්ගේ කාණ්ඩයේ ආදායම්, වත්කම් හා සැලසුම් ක්‍රමෝපායන් සම්බන්ධයෙන් මනා වැටහීමක් ලබාගන්නා විට මේ සඳහා නිශ්චිත සීමාවක් හඳුනාගනු ඇත. දැනට HWI අංශය, විසින් විවිධ ප්‍රභව ඔස්සේ ඉහළම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් පිළිබඳව සොයා බලනු ලබන අතර ඉහළ වත්කම් සහිත පුද්ගලයන් හඳුනාගැනිම් සඳහා  තෙවන පාර්ශව වලින් ලැබෙන දත්ත, නිශ්චල දේපළ පිළිබඳ තොරතුරු, මූල්‍ය බුද්ධි අංශයේ (FIU) දත්ත, හා වෙනත් රටවල් සමඟ ඇති බදු ගිවිසුම් මඟින් ලබාගන්නා තොරතුරු ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනයට භාජනය කරනු ඇත.

     

    1. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කී දෙනෙක් සිටින්නේද?

    පිළිතුරු. HWI අංශය විසින් ආරම්භයේදී ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය දෙනෙකුගෙන් (100) යුත් කණ්ඩායමක් හඳුනාගනු ලබන අතර ඔවුන්ගේ ආදායම, වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් සිදු කරනු ඇත. ඉහත  කාර්යයේ  ප්‍රගතිය සමඟම සිදු කරන සමාලෝචන හා අඛණ්ඩ අධීක්ෂණය යටතේ  අනෙක් ඉහළ ධනවත් පුද්ගලයන් ද මෙම කාණ්ඩයට ඇතුලත් කර ගනු  ලැබේ.

     

     

    1. ආශ්‍රිත / සබැඳි කණ්ඩායම් වශයෙන් ඔබ අදහස් කරන්නේ කවුද?

    පිළිතුරු. මෙම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන සමාගමක් , පෞද්ගලික භාරයක්, වැනි ඕනෑම  සබැඳි / ආශ්‍රිත අස්ථිත්වයක් මෙහිදී අදහස් කරමු. තවද ඔවුන්ගේ කාලත්‍රයා සහ දරුවන් වැනි පවුලේ සාමාජිකයන්ගේ බදු වාර්තා ගොනු කිරීම් කටයුතු සම්බන්ධයෙන් ද සමාලෝචනය කරනු ඇත.

     

    1. වඩා ඉහළ අවධානමක් සහිත අවස්ථා යනුවෙන් ඔබ අදහස් කරන්නේ මොනවාද ?

    පිළිතුරු.  අක් වෙරළ  ආයෝජන ව්‍යුහයන් පැවතීම ඇතුළු සංකීර්ණතා සහිත ව්‍යාපාර  හෝ ඔවුන් ආදායම හෝ වත්කම් වශයෙන් වාර්තා කරනු ලබන දේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් දේ අතර වෙනස්කම් පැවතීම වැනි බදු අනනුකූලතා සඳහා දායකවිය හැකි  තත්වයන්  ඇති අවස්ථා  ඉහළ අවධානමක් සහිත අවස්ථා යනුවෙන් අදහස් කරයි.  මේලෙස ඉහළ අවදානම් ලෙස හඳුනාගෙන ඇති ලිපිගොනු වඩාත් සමීපව පරීක්ෂාවට ලක් කෙරෙන අතර සුදුසු අනුකූලතා ක්‍රියාමාර්ගවලට භාජනය කෙරේ.

     

    1. මෙය නව වැඩසටහනක් වන්නේ ඇයි? ඔබ අනෙකුත් බදු ගෙවන්නන්ගේ කාණ්ඩ වෙත අවධානය යොමු කරනු ලබන ආකාරයට ඉහළ ධනවත් පුද්ගලයන් නිරීක්ෂණය නොකළේද? මෙම වැඩසටහන වෙනස් වන්නේ කෙසේද?

    පිළිතුරු.  මින් පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ HWI අංශයක් පිහිටුවා තිබුණද, මෙම අංශයේ කාර්ය භාරය තුල ඉහළ පුද්ගලයන්ගේ බදු අනුකූලතාව වෙත ප්‍රවේශ වීමේ ක්‍රම වේදයක්  වැඩි දියුණු කර නොතිබුණි. මෙම නව HWI අංශය සතුව   එම කාර්යටම කැප වූ සම්පත් දායකයන් දස දෙනෙකු (10) සිටින අතර ඔවුන් මෙම ඉහළ වත්කම් සහිත පුද්ගලයින්ගේ බදු අනුකූලතාවය  තහවුරු කරගැනීම පිණිස එම පුද්ගලයන් වෙතම පමණක් අවධානය යොමු කරනු ඇත.  මෙම සම්පත් දායකයන් බදු, නීතිය, සංඛ්‍යානය සහ විශාල බදු ගෙවන්නන් පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත වන අතර ඔවුන්ට ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දී ඇත. වෙනත් රටවල  බදු පරිපාලන කටයුතු වලින් ලත් අත්දැකීම් අනුව පෙනී යන්නේ ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය වෙත අවධානය යොමු කිරීම ඔවුන්ගේ බදු අනුකූලතාව කෙරෙහි සෘජු ධනාත්මක බලපෑමක් ඇති කරන බවය. එබැවින්  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍යවන්නේ  මෙම ඉහළ ධනවත් පුද්ගල කාණ්ඩය වෙත සමීප අවධානයක් යොමු කරමින් නිවැරදි බදු ප්‍රමාණය ගෙවීම සඳහා ඔවුන්ට සහාය වීමය.

     

    1. ඉහළ ධනවත් පුද්ගලයන් සංඛ්‍යාව සලකා බැලූ විට නිලධාරීන් 10 දෙනෙකු මෙම කාර්යය සඳහා ප්‍රමාණවත් වේ යැයි ඔබ සිතන්නේද ?

    පිළිතුරු.  ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ අනුකූලතාව සම්බන්ධයෙන් ක්‍රමෝපාය වැඩිදියුණු කිරීමේ මුල් කාලයේදී, වඩා කුඩා කණ්ඩායම් වලින් ආරම්භ කිරීම ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ වැඩසටහන්වලදී සාමාන්‍යයෙන් සිදුවන්නකි.  ආරම්භයක් ලෙස ඉහළ වත්කම් සහිත  පුද්ගලයන්ගේ  කාණ්ඩය හා ඔවුන්ගේ උපදේශකවරුන් සමග ධනාත්මකව කටයුතු කරමින් ඔවුන්ගේ බදු අනුකූලතාව තහවුරු කිරීම පිණිස සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් යන්න අපගේ අදහසයි.  අනෙකුත් රටවල මෙම වැඩසටහන් වලින් ලද ප්‍රතිපල නිරීක්ෂණය  කල විට පෙනී යන්නේ මෙම වැඩසටහන් වැඩි දියුණු වීමේ නැඹුරුතාවක් පවතින බවය. ඒ  මන්දයත් ඔවුන් සතුව බදු  පදනම කෙරෙහි විශාල බලපැමක් කිරිමේ හැකියාවක් පවතින බැවිනි.

     

     

    1. මෙම කාණ්ඩයෙන් ඔබ කොපමණ අතිරේක බදු ප්‍රමාණයක් රැස් කිරිමට අපේක්ෂා කරන්නේද ?

    පිළිතුරු. මෙහි ප්‍රතිඵල සාකච්ඡා කිරීමට තවමත් කල් වැඩි නමුත් වෙනත් අත්දැකීම් පදනම් කොටගෙන,  මෙම කාණ්ඩය සමග සහයෝගයෙන් කටයුතු කිරීම මගින් හා විස්කරාත්මක විගණනයක් සිදු කිරීම මගින් ඔවුන්ගේ බදු අනුකූලතාව සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමට අප  අපේක්ෂා කරමු. අනෙකුත් රටවල බදු පරතර විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ මෙම කාණ්ඩයෙන් සැලකිය යුතු බදු ප්‍රමාණයක් නොලැබී ඇති  බවය. මෙහිදී අප පැහැදිලි ලෙස ප්‍රධාන කාර්යසාධන දර්ශක ( KPI) ස්ථාපනය කර වාර්ෂික පදනම මත අපගේ ප්‍රතිඵල වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු.

     

    1. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය බදු නිසි පරිදි ගෙවන බව තහවුරු කර ගැනීමට ඔබ ඔවුන් සමග කටයුතු කරන්නේ කෙසේද ?

    පිළිතුරු. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් තම බදු වාර්තා සැපයීම  නියමිත පරිදි කලට වේලාවට සිදු කර ඇති බවටත් තම ආදායම් සහ වත්කම් සියල්ල වාර්තා කර නිවැරදි බදු ප්‍රමාණය ගෙවා ඇති බවටත් තහවුරු කර ගැනීම පිණිස ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයේ කටයුතු කරන විශේෂඥ දැනුමැති නිලධාරීන්  විසින් නිතිපතා මෙම පුද්ගලයන්ගේ වත්කම් සහ ආදායම් පිළිබඳ තොරතුරු සමාලෝචනය කර තක්සේරු කරනු ඇත. මෙම ක්‍රියාවලිය මගින් නිවැරදිව සිය වාර්තා ගොනු නොකරනු ලබන ඉහළ වත්කම් සහිත පුද්ගලයන් හඳුනාගැනීමට හැකි වන බැවින් එම පුද්ගලයින්  විසින්  සිය බදු වාර්තා ගොනු කර නිවැරදි බදු ප්‍රමාණ ගෙවන බව තහවුරු කර ගැනීමට ඉහළ වත්කම් සහිත පුද්ගල අංශයට හැකි වනු ඇත. බදු අනනුකූලතාව සම්බන්ධයෙන් ඉහළ අවදානමක් HWI අංශය විසින් හඳුනාගත් විට ඒ පිළිබඳව විගණන කටයුතු හා වෙනත් විමර්ශන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

     

    1. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සිය මුදල් විදේශ රටවල සඟවා තිබේදැයි ඔබට දැනගත හැකි වන්නේ කෙසේද ?

    පිළිතුරු. අප විසින් බැංකු, මුල්‍ය බුද්ධි අංශය (FIU) මෙන්ම ද්විත්ව  බදු ගිවිසුම් පාර්ශවකරුවන් සමග ද සබඳතා පුළුල් කරන්නෙමු. එමගින්  විදේශ වත්කම් ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු හා බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු එලිදරව් කරගැනීමට හැකි වනු ඇත. තවද වෙනත් රටවල පවතින නිතිපතා වර්ධනය වන වාසිදායක හිමිකාරත්ව ලියාපදිංචි විම් (Beneficial Ownership registers) හා ආයතනික ලියාපදිංචි විම් (Cooperate Registers )වෙත ද අප ප්‍රවේශ වන්නෙමු.

     

     

     

    1. මෙම වැඩසටහන හරහා ධනවත් පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ සැළකීමක් ලැබෙන්නේද ?

    පිළිතුරු.  ඉහළ ධනවත් පුද්ගලයන් නියමිත වෙලාවට හා නිවැරදිලෙස බදු වාර්තා ගොනු කරන්නේද යන්න තහවුරු කර ගැනීම පිණිස ඔවුන්ගේ බදු වාර්තා ගොනු කිරීම් සමාලෝචනය කිරිමට මුලික අවධානය යොමු කරනු ලැබේ. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් විසින් සිය බදු වාර්තා මගින් දක්වා ඇති තොරතුරු පැහැදිලි කර ගැනීමට මෙන්ම දේශීයව හා විදේශීයව පිහිටි ඔවුන්ගේ වත්කම් පිළිබඳ අතිරේක තොරතුරු ලබාගැනීම පිණිස ඔවුන් වෙත මෙම අංශය මඟින් ප්‍රශ්නාවලි සකස් කර යවනු ලැබේ. ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ උපදේශකයන්ට අවශ්‍ය විස්තර ලබාගත හැකි නිලධාරියෙකු වෙන්කර දෙනු ලබන අතර බදු වාර්තා ගොනු කිරිමේ ක්‍රියාවලිය මුලික අවස්ථාවේදීම සිදු විය හැකි වෙනස්කම් හා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාගත හැකිය. මෙමගින්  ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට සංකීර්ණ බදු තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා අදාල බදු ක්‍රමවේදයන් සම්බන්ධ මාර්ගෝපදේශයන් ලබාගැනිමට අවස්ථාව සැලසේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ වත්කම් සහිත පුද්ගලයින් වෙත වැඩි අවධානයක් යොමුකර ඇත්තේ ඔවුන් සිය බදු අනුකූලතාවය  නිවැරදිව සිදු කරන බව හා  එමගින් ගෙවිය යුතු නිවැරදි හා සාධාරණ බද්ද ඔවුන් විසින් ගෙවනු ඇති බවට තහවුරු කර ගැනීමටත්ය .

     

    1. ඉහළ වත්කම් සහිත පුද්ගලයන් යනු නිරන්තරයෙන් දේශපාලන සබඳතා සහිත ප්‍රබල පුද්ගලයෝ වෙති. එම නිසා සිය බලපෑම් කිරිමේ හැකියාව යොදා ගනිමින් ඔවුන් විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණයට වඩා අඩු බදු ප්‍රමාණයක් ගෙවිමට කටයුතු නොකරන්නේ යැයි ඔබ තහවුරු කරගන්නේ කෙසේද?

    පිළිතුරු. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ වත්කම් සහිත පුද්ගල බදු ගොනු  සම්බන්ධයෙන් දැඩි පාලන ක්‍රියාවලියක් ස්ථාපනය කර තිබේ. ඒ සඳහා ඉහළ වත්කම් සහිත පුද්ගල බදුගොනු මෙන්ම විගණන ක්‍රියාවලිය සඳහා උපදෙස් සැපයීමටත්, එම බදුගොනු සම්බන්ධ තීරණ ගැනීම සඳහා  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් මෙන්ම නිතීපති දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන්  සමන්විත උපදේශන කමිටුවක් ස්ථාපනය කෙරේ.