ඩොලරය යළි උඩ යන ලකුණු

    April, 17, 2024

    පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර එම ප්‍රවණතාවය යම්තාක් දුරකට විචලනය වී ඇති බවක් ඊයේ (16) සහ අද (17) දිනයේ දී විනිමය අනුපාතික චලිතයන් අනුව නිරීක්ෂණය වේ.

    පසුගිය අප්‍රේල් 15 වන දින වන විට ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 298.49 ක් දක්වා පහළ වැටුණු අතර එය 2023 ජූනි 12 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ පහළම රුපියල් අගය වේ. ඊයේ (16) එම අගය රු. 298.90 ක් දක්වා ත් අද (17) දිනයේ දී රු. 299.82 ක් දක්වා ත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහන පෙන්වා දේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 මුල් කාර්තුව තුළ දී ඩොලරයේ අනිසි විචලනයන් පාලනය සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළට වැඩි වශයෙන් මැදිහත් වූ බවයි. එහිදී මාර්තු මාසය තුළ දී පමණක් ඩොලර් මිලියන 715.1 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබූ අතර 2024 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 248.5 ක් මිල දී ගැනීමටත් ඩොලර් මිලියන 9 ක් විකිණීමටත් කටයුතු කර තිබුණි. 2024 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 245.3 ක් මහ බැංකුව මිල දී ගෙන තිබුණු අතර ඒ අනුව 2024 මුල් කාර්තුව තුළ දී පමණක් ඩොලර් මිලියන 1,199.9 ක් ශුද්ධ වශයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව ක්‍රියා කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 වසරේ අප්‍රේල් 10 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 8.5% කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.80 ක් ලෙසත් විකුණුම් මිල රු. 305.19 ක් ලෙසත් සටහන්ව තිබුණි. ඊයේ (16) දිනයේ දී මෙම අගයයන් වාර්තා වූයේ ගැනුම් මිල රු. 294.20 ක් විකුණුම් මිල රු. 303.54 ක් ලෙසිනි.