කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට

    April, 24, 2024

    අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,905.72 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 13.17 කින් ඉහළ ගොස් ඒකක 3,495.06 ක් ලෙසින් සටහන් වුණි.

    සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, හේලීස්, LOLC හෝල්ඩිංග්ස්, කාගිල්ස් සහ HNB යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී සමාගම් 122 ක කොටස් මිල ගණන් අද දින ඉහළ ගොස් තිබුණි.

    රු. බිලියන 2.51 ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වීම විශේෂත්වයකි.

    එහිදී සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදනෙු හරහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 400), LOLC ෆිනෑන්ස් (රු. මිලියන 318) සහ කැපිටල් එලායන්ස් (රු. මිලියන 150) යන සමාගම් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දීමට සමත්වූ සමාගම් විය.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.41 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.40 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 97 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 103 ක් ලෙසින් වාර්තා විය.