‘SOS Wonder Village’ වැඩසටහන කොළඹ One Galle Face Mall හිදී

    April, 29, 2024

    ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මෙරට රැකවරණය අහිමි දරුවන් පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඔවුන්ගේ සුභසාධනය උදෙසා අරමුදල් රැස්කිරීමේ අරමුණින් One Galle Face Mall සමග එක් වී ‘SOS Wonder Village’ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. මෙම වැඩසටහන 2024 මාර්තු මස මැද භාගයේ සහ අප්රේල් මස මුල් භාගය දක්වා  One Galle Face Mall හි 4 වැනි මහලේ Playscape හිදී පැවැත්විණි.

    මෙම වැඩසටහනට දරුවන් හා යෞවනයින් 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට විනෝදාත්මක සහ අධ්‍යාපනික වටිනාකමකින් යුත් ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමට අවස්ථාව උදා විය. එමෙන්ම රැකවරණය අහිමි දරුවන්ගේ සුභසාධනයට දායක වීමටද අවස්ථාවක් හිමි විය.

    ‘SOS Wonder Village’ හිදී දරුවන්, යෞවනයින් සහ වැඩිහිටියන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර, සිඟිති අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ වැඩසටහනක් ඇතුළුව ගෘහස්ථ ක්‍රීඩා රැසක්ද සංවිධානය කර තිබිණි. මෙම තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සුවිශේෂී ත්‍යාගද පිරිනමද ලදි. එමෙන්ම මෙම වැඩසටහනට සහභාගී වූවන්ට, SOS ළමා ගම්මානවල දරු දැරියන්ට අනුග්‍රාහකත්වය ලබාදීමේ අවස්ථාව උදා විය. මේ යටතේ මාසිකව හෝ වාර්ෂිකව මුදල් පරිත්‍යාග කළ හැකි අතර, එම මුදල් අදාළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ජීවන වියදම් සඳහා භාවිතා කෙරේ. එමෙන්ම වැඩසටහනට සහභාගී වූවන්ට ළමා ආරක්ෂණය සම්බන්ධ වැදගත් කරුණු රැසක් දැනගැනීමටත්, ළමා වීඩියෝ, කාටුන් සහ ගීත රසවිඳීමටත් අවස්ථාව උදා විය.

    “SOS ළමා ගම්මානයේ මෙහෙවර වන්නේ දෙමාපිය රැකවරණය අහිමි වූ හෝ අහිමි වීමේ අවදානමක් සහිත දරුවන්ට සුරක්ෂිත පවුල් පරිසරයක් නිර්මාණය කිරීමයි. මෙම මෙහෙවර උදෙසා SOS Wonder Village වැඩසටහන සංවිධානය කළ අතර, ළමා ආරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ප්රජාව දැනුවත් කිරීම වැඩසටහනෙහි තවත් එක් සුවිශේෂි අරමුණක්ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

    ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වසර 42 ක් පුරා මෙම උදාර මෙහෙවරට උර දී සිටී. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ SOS ළමා ගම්මාන 6 ක් පිහිටුවා ඇති අතර, එම ගම්මානවල රැකවරණය ලබන දරුවන් සංඛ්‍යාව 800 කට අධික ය. එමෙන්ම එහි සෘජු පවුල් සවිබලගැන්වුම් වැඩසටහන හරහා තවත් දරුවන් 3,700 කට අධික පිරිසකට අත්වැලක් වීමටද එම වැඩසටහන පියවර ගෙන ඇත.

    “මෙම විනෝදාත්මක සහ අර්ථවත් වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. One Galle Face සහ Shangri-La සමූහය සෑම විටම “Do Good” යන තේමාව යටතේ සමාජයට යහපත් සිදුකිරීම උදෙසා කැප වී සිටිනවා. ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන්වලට අත්වැලක් වීමට අප සෑම විටම සූදානම්. SOS Wonder Village මගින් රටේ දරුවන් රැසකගේ අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” One Galle Face හි මධ්‍යස්ථාන අධ්‍යක්ෂ සිඩ් සොලන්කි මහතා පැවසී ය.

    SOS Wonder Village වැඩසටහන සහභාගී වූ සහ, රටේ සෑම දරුවෙකුටම දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා සෙනහසේ දෑත් දිගු කළ සියලුම දෙනාට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන තම ස්තූතිය පළකර සිටී.

    ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා https://www.soschildrensvillages.lk/ වෙත පිවිසෙන්න.