ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ කොළඹ කොටස් හුවමාරුව අතර අවබෝධතා ගිවිසුමක්

    April, 29, 2024

    තිරසාර මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ හැකි උපරිමයෙන් සම්බන්ද කරගැනීම අරමුණු කරගත් හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කොළඹ කොටස් හුවමාරුව සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. ව්‍යාපාර උපායමාර්ගයේ මූලික අංගයක් ලෙස තිරසාරත්වයට ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නායකත්වය සඳහා සහය දැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි. මෙම සහයෝගීතාවය පුද්ගලික අංශයට, විශේෂයෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර පද්ධති සහ ක්‍රියාවලීන් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක ඇතුළත් කිරීමට ක්‍රියාකාරීව සහාය වීම සහ සම්බන්ධ කර ගැනීම අරමුණු කරයි. මැනිය හැකි සහ තහවුරු කළ හැකි දායකත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාරික තීරණ තිරසාර සංවර්ධන ඉලක්ක කෙරෙහි සමස්ත ධනාත්මක බලපෑම් ඇති කරන බව ද එය සහතික කරයි.

    කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, වාණිජ කටයුතු - ජ්‍යෙෂ්ඨ උප සභාපති පුන්‍යමාලි සපරමාදු මිය, වාණිජ කටයුතු - කනිෂ්ඨ විශ්ලේෂක යසුරි තෙන්නකෝන් මිය සහ නීතිමය කටයුතු සහ බලාත්මක කිරීම් - කනිෂ්ඨ නීති නිලධාරිනී දෙව්නි ගලබඩ මිය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසර වර්ධන කණ්ඩායමේ ප්‍රතිපත්ති විශේෂඥ සහ කණ්ඩායම් නායිකා දුලනි සිරිසේන මිය සහ එම කණ්ඩායමේ ආර්ථික විද්‍යාඥ - නවොත්පාදක මූල්‍ය සහකාර හක්ෂලා ඩේවිඩ් මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

     

    ඡායාරූප විස්තරය - හක්ෂලා ඩේවිඩ් මිය​, දුලනි සිරිසේන මිය​​, අසූසා කුබෝටා මිය​, ඩිල්ෂාන් වීරසේකර මහතා, රජීව බණ්ඩාරනායක මහතා, පුන්‍යමාලි සපරමාදු මිය​, යසුරි තෙන්නකෝන් මිය​ සහ දෙව්නි ගලබඩ මිය​.