නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

    May, 2, 2024

    වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂ  මඩවල මහතා විසින් නව අධ්‍යක්ෂවරුන් වන උදය රංජිත් සෙනෙවිරත්න මහතා, ලක්ෂ්මි මේනකා මහත්මිය, මිනු ජයවික්‍රම මහත්මිය, නානායක්කාර වසම් පලියගේ මයුරපාද ගුණවංශ මහතා, සහ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අරුණෝදනී වික්‍රමසිංහ මහත්මිය පිළිගන්නා ලදී.

    නව අධ්‍යක්ෂ මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව නව අධ්‍යක්ෂක මණ්ඩලය  සුබ මොහොතින්  තනතුරු භාර ගැනීම සිදු කරන ලදී.

    පිළිගැනීමේ කතාව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂ  මඩවල විසින් සිදු කරන ලද අතර නව  අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්  උදය සෙනෙවිරත්න මහතා විසින් කාර්ය මණ්ඩලය අමතන ලදී.

    උදය රංජිත් සෙනෙවිරත්න මහතා

    උදය සෙනෙවිරත්න මහතා වසර 37කට වැඩි විශිෂ්ට වෘත්තීය ජීවිතයක් ගත කළ කීර්තිමත් රාජ්‍ය පරිපාලකයෙකි . ඔහුගේ ප්‍රවීණත්වය රාජ්‍ය සේවය, ව්‍යාපාර කළමනාකරණය, මූල්‍ය සහ සමුපකාර අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍ර  හරහා විහිදේ. ඔහු ජාතික සංවර්ධනයට සහ පාලනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් රාජ්‍ය සහ ආයතනික සංවිධානවල ප්‍රධාන භූමිකාවන් ඉටු කර ඇත. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ලේකම්වරයා ලෙස ඔහු ප්‍රතිපත්ති සැකසීමේ සහ පාලන ක්‍රමයේ ඉහළම මට්ටමින් උපාය මාර්ගික මුලපිරීම් මෙහෙයවීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභා සභික ලෙස කටයුතු කර ඇති මෙතුමා, සණස ජීවිත රක්‍ෂණ (PVT) Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙසත් , Sanasa Greenmart (PVT) Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, Sanasa Campus (PVT) Ltd හි අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.එමෙන්ම රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම්, විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්, ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්, ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සීමාසහිත Shell Gas Company සහ තවත් බොහෝ රාජ්‍ය සහ ආයතනික ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර ඇත.

    ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ විද්‍යාපති උපාධියකට  සහ  භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියකට  ,ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, සමුපකාර සංවර්ධන ආයතනයේ සමුපකාර අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්, කොළඹ විශ්වවිද්‍යාලයේ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ  සන්නිවේදන සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ශ්‍රී  ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ඇත.

    ලක්ෂ්මි ජයවික්‍රම මහත්මිය

    වසර 37ක නීති විශේෂඥතාවක් දරන ජයවික්‍රම මහත්මිය යුක්තිය සහ අඛණ්ඩතාව සඳහා වූ කැපවීම සඳහා ප්‍රසිද්ධ ප්‍රවීණ නීතීඥවරියකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකාවක් සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් ලෙස ඇය කටයුතු කරනු ලබයි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම්, අපරාධ යුක්තිය සහ පරිපාලන නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ  දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ දර්ශනපති/දර්ශන ආචාර්ය (MPhil/PhD) උපාධිය හදාරමින් සිටී.ඇය කොළඹ දිසා අධිකරණයේ නීතිඥවරියක් ලෙස සේවය කර ඇති අතර අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් අල්ලස් හා දූෂණ වැළැක්වීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසත්  කටයුතු කර ඇත.එමෙන්ම ඇය අතිගරු ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් (නීති) ලෙසද කටයුතු කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ලෙසද කටයුතු කර ඇත.

    මයුරපාද ගුණවංශ මහතා

    කොළඹ විශ්වවිද්‍යාලයේ  නීති පීඨයෙන්  1986 දී එල්.එල්.බී. උපාධිය ලබා  ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව 1988 දී නීතිඥවරයෙකු ලෙස ලියාපදිංචි වී ජනාධිපති නීතීඥ රන්ජන් සුවඳරත්න මහතා යටතේ කනිෂ්ඨ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර ඇත. 1993 දී සිවිල් නීති උපදේශකවරයෙකු ලෙස ස්වාධීනව කටයුතු ආරම්භ කර ඇති  ඔහු 2019 මැයි මාසයේදී ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්ව  එතැන් සිට අද දක්වා ඔහු සිවිල් නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෘත්තිකයෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ,අභියාචනාධිකරණ සහ අධිකරණවල  නඩු විභාග සඳහා  පෙනී සිටී. 2019 දෙසැම්බර් සිට 2024 පෙබරවාරි දක්වා Mobitel (Pvt) Ltd හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ එතුමා දැනට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබයි.