May, 3, 2024
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව නිවේදනයක් නිකුත් කරමින් රජය පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.
2023 සැප්තම්බර් 11 දින රටට ඇතුළුවීමේදී විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු අයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත විදේශිකයන් වෙනුවෙන් රටට පැමිණීමේදී විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමේ කටයුතු පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලදී. රටවල් 151 ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් වේ.
නමුත් පසුගිය දිනක ඔවුන්ගේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන් බව පවසන කරුණ අසත්‍ය කාරණයක් වේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නැත. විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරා තිබේ.
ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටියි.
Video Story