May, 3, 2024
UL 503 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනය
ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 503 අංකය දරන ගුවන් යානය හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හේතුවෙන් ඔස්ට්‍රියාවේ වියෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. 2024 මැයි 01 දින, මගීන් 272 දෙනෙකු සමගින් ලන්ඩන් නුවර බලා පිටත් වූ එම ගුවන් යානයේ සිටි මගියෙකුට හදිසියේ සෞඛ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ හෙයින් එම ගුවන් යානය මෙලෙස වියෙනා නුවරට ගොඩබස්වන ලදි.
ඉන් පසුව ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ගුවන් යානය වියෙනා නගරයෙන් පිටත් වීම ප්‍රමාද වූ අතර, ඒ හේතුවෙන් හීත්රෝ ගුවන් තොටුපළේ දෛනික කටයුතු අවසන් වන වේලාව වන ලන්ඩන් වේලාවෙන් පැය 22:00 ට පෙර එහි ළඟා වීමට UL 503 ගුවන් යානයට නොහැකි තත්ත්වයක් උදා විය. ඒ අනුව ගුවන් යානය පසුදින පිටත් වීමට කටයුතු යොදන ලද අතර, යුරෝපය වෙත වීසා හිමි වී තිබූ සියලුම මගීන්ට වියෙනා නගරයේ නවාතැන් පහසුකම් සලසා දෙන ලදි.
පසුව 2024 මැයි 02 දින වියෙනා නුවරින් පිටත් වූ UL 503 ගුවන් යානය, ලන්ඩන් වේලාවෙන් පැය 21:30 ට හීත්රෝ ගුවන් තොටුපළ වෙත ළඟා විය.
කනගාටුවෙන් වුවද 2024 මැයි 01 දින ලන්ඩන් සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ UL 504 ගුවන් යානට ප්‍රමාද කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදු වූ අතර, අදාළ සියලු මගීන් වෙත ඒ බව දැනුම් දීමටත්, ඒ වනවිට Check-in වී සිටි මගීන්ට හෝටල් පහසුකම් සපයා දීමටත් පියවර ගන්නා ලදි.
ඉහත අවස්ථාවන්හිදී මගීන්ට සිදු වූ අපහසුතාවන් පිළිබඳව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කර සිටිමු. අපගේ මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම අපට අතිශයින් වැදගත් වන අතර, ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඔබ සැමට අපගේ ස්තූතිය මෙසේ පිරිනමන්නෙමු.
Video Story