පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි

    May, 6, 2024

    තිරසාර බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන්  පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සහ Hayleys Solar  එකට අත්වැල් බැඳගනිමින්, සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය දා නිල වශයෙන් අත්සන් තැබිණි. ඒ අනුව මෙම සමාගම් ද්විත්වය එක් ව කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙන් ම නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා වහල මත සවිකළ හැකි සූර්ය පැනල සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මූදලකට ලබා දීමට කටයුතු කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය යෝජනා ක්‍රමයේ අරමුණු වන්නේ හරිත හෙටක් සංකල්පය ප්‍රවර්ධනය කරමින්, නිවාස සහ ව්‍යාපාර ආශ්‍රිත දෛනික විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට ශ්‍රී ලාංකික ජනතාව දිරි ගැන්වීමයි.

    සූර්ය බලය පහසුවෙන් ලබා ගත හැකි සම්පතක් වන නමුත් විවිධ ආර්ථික මට්ටම්වල පසුවන මෙරට ජනතාවට ගෘහාශ්‍රිත කටයුතු හා තම කුඩා ව්‍යාපාර සඳහා සූර්ය බලශක්තිය දැරිය හැකි මූදලකට ලබා ගැනීම බාධාවක් වී තිබේ.  මෙම අභියෝගය ජය ගැනීමට PLC සහ Hayleys Solar එක් වෙමින් සූර්ය පැනල සවි කිරීම වෙනුවෙන් මෙම  සුවිශේෂී  ලීසිං සේවාව නිර්මාණය කර ඇති අතර, ඉතා ආකර්ෂණීය පොලී අනුපාතයක් යටතේ කිසිඳු ඇප තැන්පතුවකින් තොර ව, ඉතා කාර්යක්ෂම මූල්‍ය පහසුකම් ලබා දීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම මූල්‍ය යෝජනා ක්‍රමය ඔස්සේ PLC සමාගමේ ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන අතර,  ග්‍රිඩ්, ඔන්-ග්‍රිඩ්, දෙමුහුන් සම්බන්ධතා සහ සූර්ය ජල තාපක හා සූර්ය ජල පොම්ප වැනි සුර්ය බලශක්තිය පදනම් කරගත් විසඳුම් සඳහා පමණක් මෙම මූල්‍ය පහසුකම ලබා දෙයි.

    PLC සමාගම Hayleys Solar සමඟ එක් වෙමින් ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ PLC හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී උදේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන අතර ඔවුන් වැඩි වශයෙන් විදුලිය භාවිතා කරන්නන් ලෙස හඳුන්වා දිය හැකි බවයි. මෙම සහයෝගීතාවය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරෙන අතරම රටේ පරිසර හිතකාමී තිරසාර ව්‍යාපාරික පද්ධතියක් නිර්මාණය කිරීමට කැප වී කටයුතු කළ යුතු බවයි‍.

    PLC විසින් සපයනු ලබන මූල්‍ය සහයෝගය හරහා ව්‍යාපාරවල මෙහෙයුම් තිරසාරත්වය මෙන් ම පාරිසරික, සමාජීය හා පාලන යන ESG මූලධර්ම ස්ථාපනය කිරීමට ද මනා සහයෝගයක් ලබා දෙන අතර, කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීමට සහ වඩා ප්‍රබෝධමත්, තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ද දායකත්වය සපයයි. එසේම ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය පැනල සැපයුම්කරු වන Hayleys Solar,  පුළුල් පරාසයක විහිදුණු සිය නිෂ්පාදන මිල දී ගන්නා PLC ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු කරයි. ඒ අතරට Hayleys Solar වෙතින් සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ දී ඉහළ පළපුරුද්දක් සහිත, දක්ෂ ඉංජිනේරුවන් විසින් ලබා දෙන උපදේශන සේවාව සහ අදාළ වැඩ බිම් පරීක්ෂාව නොමිලේ ලබා ගත හැකි වීම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

    ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු අතර ගොඩනැගුණු මෙම සහයෝගීතාව මගින් තිරසාර ජීවන රටාවකට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය භාවිතයට පාරිභෝගිකයින් හුරු කරවීමට ඇති හැකියාව දිරිමත් කිරීම සිදුවෙයි.

    මීට අමතරව, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය පැනල සැපයුම්කරු වන Hayleys Solar,  පුළුල් පරාසයක විහිදුණු සිය සූර්ය පැනල නිෂ්පාදන මිල දී ගන්නා PLC ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට කටයුතු කරයි.  අදාළ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රමුඛයන් දෙදෙනෙකු අතර ගොඩනැගුණු මෙම සුවිශේෂී  සහයෝගීතාව මගින් තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට මෙන් ම පුනර්ජනනීය බලශක්තිය වැළඳ ගැනීමට මෙරට පාරිභෝගික ජනතාව නිරන්තරයෙන් දිරිමත් කිරීම ද විශේෂිත ය.

    මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දැක්වූ Hayleys Fentons සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක පැවසූවේ,  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීසිං සමාගමක් වන පීපල්ස් ලීසිං PLC සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ව Hayleys Fentons සමාගම සතුටු වන අතර පුනර්ජනනීය බලශක්තිය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කරමින්,  සියලු ම ශ්‍රී ලාංකිකයින් වෙත තිරසාර සහ හරිත  අනාගතයක් උරුම කර දීමට සමාගමක් ලෙස Hayleys Fentons නිරන්තරයෙන් කැප වන බවයි.

    මේ පිළිබඳ වැඩි විස්තර සඳහා  0767 611 388 යන දුරකථන අංකය මගින් PLC  සමාගම ඇමතීමෙන්, info@plc.lk වෙබ් අඩවියෙන්  හෝ 0112 102 102 ඔස්සේ Hayleys Solar ඇමතීමෙන් ලබා ගත හැකිය.

    PLC හි සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා විසින් සූර්ය බලශක්ති ලීසිං සේවාව ආශ්‍රිත පළමු ගිවිසුම අදාළ ගනුදෙනුකරුවා වෙත ලබා දුන් අවස්ථාව

     

    ඡායාරූප විස්තරය : මෙම අවස්ථාවට PLC නියෝජනය කරමින් සහභාගි වූ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී උදේෂ් ගුණවර්ධන හා හිටපු ප්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සලින් යන මහත්වරු සහ Hayleys Fentons නියෝජනය කරමින් සහභාගි වූ කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක, විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී පමුදිත් ගුණවර්ධන සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අඛිල ජයසේන යන මහත්වරු  ඡායාරූපයේ වෙති.