“මහ බැංකුව තියෙන්නේ ලාභ ලැබීමට නෙමෙයි“. එක දවසක දී බිලියන 700ක් පාඩු වූ හැටි මහ බැංකු අධිපති හෙළිකරයි

    May, 7, 2024

    මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීම අරමුණු කරගනිමින් පමණක් නොවන බවත් විමසිය යුත්තේ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිපත්තිවල සාර්ථක අසාර්ථකත්වය පිළිබඳව බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (07) කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මහ බැංකුව පිහිටුවලාම තියෙන්නේ යම්කිසි ආකාරයක ලාභයක් ලැබීමට නෙමෙයි. මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව ලාභයක් ලබන්නත් පුළුවන්, පාඩුවක් ලබන්නත් පුළුවන්. ඒ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එකයි බලන්න ඕනේ. ක්‍රියාත්මක කිරීමේ දී මූල්‍යමය වශයෙන් මහ බැංකුව ලාභ ද පාඩු ද කියන එක වෙනම කාරණයක්. ඒකට මහ බැංකු පනත යටතේ ඉඩ දීලා තියෙනවා.“

    මෙහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ 2023 වසරේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම තුළින් එක් දිනක් තුළ දී රු. බිලියන 700කට ආසන්න පාඩුවක් වූ බවයි.