වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු විය යුතුයි – මහ බැංකුව අවධාරණය කරයි

    May, 28, 2024

    මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග වලට අනුකූලව සමස්ත වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යුහය පහළ ගොස් ඇත. වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතික සමඟ තවදුරටත් අනුකූල වෙමින් රජයේ සුරකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව පහළ ගියේය.

    මෑත මාසවල දී බැංකු අංශයේ සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතික පහළ යෑම මෙන්ම පදනම් පොලී අනුපාතික අඩුවීමත් සමඟ, ඉදිරි කාලය තුළ දී සමස්ත ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත.

    තව ද, ඇතැම් ණය උපකරණ සඳහා වූ ඉහළ පොලී අනුපාතික, සමස්ත පොලී අනුපාතික පහළ යෑමට අනුකූලව තවමත් අඩු වී නොමැත.

    සැලකිය යුතු ලෙස මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම සහ වෙළඳපොළ සමස්ත ද්‍රවශීලතා තත්ත්වයන් වැඩි දියුණු වීම මධ්‍යයේ වුවද පෞද්ගලික අංශයට සපයන ණය 2024 වසරේ මේ දක්වා කාලය තුළ දී සුළු ප්‍රසාරණයක් පමණක් වාර්තා කර ඇත. වෙළඳපොළ ණය පොලී අනුපාතික තව දුරටත් අඩු වීම මගින් පෞද්ගලික අංශයට ණය සැපයීම ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසිය හැකි අතර, එමඟින් ආර්ථීක ක්‍රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත් කිරීමට සහය වනු ඇත.

    2024 අංක 03 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.