ලැයිස්තුගත වැවිලි සමාගමක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට සැරසෙයි

    May, 30, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි කළමනාකරණ සමාගමක් වන Aitken Spence Plantation Management PLC විසින්, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පසුගිය මැයි 29 දින පැවති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත.

    Aitken Spence Plantation Management PLC සමාගමේ කොටස් ප්‍රාග්ධනය, ඡන්ද බලය හිමි කොටස් 18,792,783 කින් සමන්විත වන අතර එය ප්‍රධාන වශයෙන් කොටස් හිමියන් තිදෙනෙකු අතර බෙදී ගොස් තිබේ.

    ඒ Aitken Spence PLC කොටස් 8,295,860 (44.14%) ක්, M J F Holdings Limited කොටස් 6,996,509 (37.23%) ක් හා D A de S Wickremanayake කොටස් 3,498,254 (18.61%) ක් වශයෙනි.

    මීට අමතරව සුළුපරිමාණ කොටස්කරුවන් 28 දෙනෙකු අතර කොටස් 2,160 ක් හෙවත් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 0.01% ක ප්‍රමාණයක් බෙදී ගොස් ඇත.

    එම සුළුතර කොටස් හිමියන් සතු කොටස් ප්‍රමාණය කොටසක් රු. 240 බැගින් සමානුපාතිකව මිල දී ගැනීමට බහුතර කොටස් හිමියන් තිදෙනා එකඟ වී ඇති අතර එම කොටස් අත්පත් කර ගැනීමෙන් පසු බහුතර කොටස් හිමියන් තිදෙනාගේ කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතයන් හි වෙනසක් සිදුනොවන බව සමාගම මෙහිදී සඳහන් කරයි.

    Aitken Spence Plantation Management PLC සමාගමේ මෙම තීරණයට අදාළව අතිවිශේෂ මහසභා රැස්වීමක් ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මේ අතර Aitken Spence Plantation Management PLC විසින් ගනු ලැබූ මෙම තීරණය හමුවේ සමාගමේ කොටස් ගනුදෙනු අද (30) දින සිට අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.