June, 3, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගතව තිබුණු විශාලම සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය පිළිබඳ අනාවරණයක් සමාගම විසින් සිදුකර තිබේ.
එහි දැක්වෙන පරිදි එක්ස්පෝලංකා සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු කටයුත්ත 2024 ජූනි 06 දින වැඩිදුර විභාගය සඳහා කැඳවීමට නියමිත බව සඳහන් කර ඇත.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් එහි සුළුපරිමාණ කොටස්කරුවන් 9 දෙනෙකු මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස තිබුණි. සමාගම පවසන්නේ එම කොටස්කරුවන් 9 දෙනා සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 0.012%කට හිමිකම් කියනු ලබන බවයි.
මේ අතර අද (03) දිනෙන් අවසන් වීමට තිබුණු එක්ස්පෝලංකා සුළුපරිමාණ කොටස් හිමියන් සඳහා ලබා දී තිබූ පිටවීමේ අර්පණය (Exit Offer) 2024 ජූනි 10 වනදා පස්වරු 4.30 දක්වා දීර්ඝ කිරීමට සමාගම තවදුරටත් තීරණය කර තිබේ. විදෙස් කොටස් හිමියන්ගෙන් සහ මියගිය කොටස් හිමියන්ගේ නියෝජිතයින්ගෙන් ලද ඉල්ලීම් හමුවේ මෙම පිටවීමේ අර්පණය මෙලෙස දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ අනුව 2024 ජූනි 04 දින සිට ජූනි 10 දින දක්වා ලැබෙන අර්පණ සඳහා ගෙවීම් 2024 ජූනි 28 දින වන විට අවසන් කිරීමට කටයුතු යොදන බව ද එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වෙනුවෙන් එහි සමාගම් ලේකම්/ රෙජිස්ට්‍රාර් SSP Corporate Services (Private) Limited වැඩිදුරටත් සඳහන් කරයි.

Video Story