ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන උසස් මට්ටමේ සාකච්ඡාවක්

    June, 6, 2024

    ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අරමුණු කරගනිමින් ද්විපාර්ශවික ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර උසස් මට්ටමේ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

    මෙම සාකච්ඡා ආවෘත්ත ඒවා බැවින් ඒ පිලිබඳ අනාවරණයක් බාහිරට සිදුකර නොමැත.

    ඉන්දියාව, හංගේරියාව හා පැරිස් සමාජය ඇතුළත් නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ අවබෝධතා ගිවිසුමෙහි කෙටුම්පතක් මෙහිදී හුවමාරු කර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වී තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ සිව්අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනය සඳහා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළඹෙන ජූනි 12 වන දින රැස්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පසුගිය දා අනාවරණය කර සිටියේය.

    මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලෙන් හිමිවන මීළඟ වාරිකය ලබන මාසයේ දී ලබා ගැනීමට හැකි වනු ඇති බවට විශ්වාස කරන බවයි. “මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන, අපි බලාපොරොත්තු වෙන ආකාරයට ජූනි මාසයේ දී මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම සමාන්තරව ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන්, විශේෂයෙන් නිල ණය හිමි කමිටුවත් එක්ක, පුද්ගලික ණය හිමියන් එක්ක, වානිජ ණය හිමියන් එක්ක, ඊට අමතරව රජයේ ණය ගත්ත ආකාරය සම්බන්ධයෙන් කටයුතු සමාන්තරව කෙරීගෙන යනවා. ඔක්කෝම හොඳ ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. අපි හිතන්නේ ඉතා ඉක්මනින් ඒ දෙකම සෑහෙන දුරකට ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මීළඟ වාරිකය ජූනි මාසයේ ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා“, යනුවෙන් මහබැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.