ශ්‍රී ලංකාවේ තත්ත්වය ප්‍රශංසනීයයි – IMF කියයි

    June, 7, 2024

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර නිර්-උද්ධමනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Julie Kozack මේ බව පැවසුවාය.

    “මේ වන විට බලධාරීන් විසින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් සහ චීන එක්සිම් බැංකුව සමඟ අවසන් එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ සාකච්ඡාවලට අවතීර්ණ වීම තිබීම ඉතා වැදගත්. ප්‍රතිපත්තිමය වශයෙන් ඉතා ඉක්මනින් ගිවිසුම්වලට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා දිගටම මේ වන විට පැවැත්වෙනවා. චීන සංවර්ධන බැංකුව සමඟ පැවැත්වෙන සාකච්ඡා ඉදිරි අදියරකට මේ වන විට පැමිණ තිබෙනවා. වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවක් තිබෙනවා. මෙම වාතාවරණය තුළ සමස්තයක් වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බවට අපට තක්සේරු කරන්න පුළුවන්“, යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.