IMF තෙවෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට

    June, 12, 2024

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිත තුන් වන වාරිකය නිදහස් කිරීම අද (12) මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පවසයි. ඒ යටතේ මෙරටට ලැබීමට නියමිත ණය වාරිකය එක්සත් ජනපද ඩොලර් මිලියන 335කි.

    අද පෙරවරුවේ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නව ප්‍රවනතා පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාක්ච්ඡාවේ දී ඔහු මේ බව පවසා සිටියේ ය.

    අද මධ්‍යම රාත්‍රිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ලංකාවේ ණය පහසුකමේ දෙවෙනි සමාලෝචනය අවසන් කිරීමට නියමිතව ඇත. මේ වන තෙක් මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670කි.

    "2022 මාර්තු මාසයේ අපි කිව්වා වගේ ජාත්‍යන්නතර මූල්‍ය අරමුදලට ලිපියක් දීලා උදව් ඉල්ලුවා. 2022 අප්‍රේල් මාසයේ සියලුම කටයුතු රටේ සිද්ධ වෙන අතරතුරේ රජය සහ මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සාකච්චා ආරම්භ කළා. 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කළා. මේක අවුරුදු 4ක, මාස 48ක ණය පහසුකමක්, මාස 6න් 6ට review වෙන පහසුකමක් සමාලෝචනය වෙනවා. ඒ වගේම මේ ණය පහසුකම ලබා දීලා තියෙන්නේ අයවැය සහය සඳහා. දැන් වෙනකොට ඩොලර් මිලියන 670ක් මේ ණය පහසුකමෙන් ලංකාවට ලැබිලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රිය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ණය පහසුකමේ තුන් වන වාරිකය ලංකාවට ලැබෙයි කියලා. මොකද අද මධ්‍යම රාත්‍රියේ තමයි වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලංකාවේ ණය පහසුකමේ දෙවෙනි සමාලෝචනය අවසාන කරන්නේ. අපි හිතනවා සියලු රටවල් වල සහයෝගයෙන් ලංකාවට ඒ සමාලෝචනය අවසන් කරන්න ලැබේවි කියලා. ඒත් එක්ක තවත් ඩොලර් මිලියන 335ක පමණ මුදලක් ලංකාවට ලැබෙන්න ඕන. ඒත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට දැනට මේ ණය පහසුකම යටතේ ලැබුණු මුදල ඩොලර් බිලියනට වඩා මදක් වැඩියි."