ශ්‍රී ලංකා – මැලේසියා නිදහස් වෙළෙඳ ගිවිසුමකට සාකච්ඡා

    June, 12, 2024

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය නැවත ලබා ගැනීම උදෙසා අපනයනය ඉලක්ක කර ගත් ඍජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ, අපනයන විවිධාංගීකරණය කිරීමේ සහ භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ.
    ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් සහ උපායමාර්ගික ආර්ථිකයන්ගෙන් හෙබි රටවල් සමඟ ආර්ථික ඒකාබද්ධතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
    ආසියාන් (ASEAN) සංවිධානයේ හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයෙහි ප්‍රධාන සාමාජිකයෙකු වන මැලේසියාව, ශ්‍රී ලංකාවේ 34 වන අපනයන ගමනාන්තය වන අතර, 2023 වර්ෂයේදී එරටට සිදු කරනු ලැබ ඇති සමස්ත අපනයනයන්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 58.3කි.
    ඒ අනුව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඒ සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.