කමන්ත අමරසේකර රු. කෝටි 3ක බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ජ‘පුරට තෑගිදෙයි

    June, 13, 2024

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි තමන් සතු කොටස් මිලියන 5 ක් ත්‍යාගයක් වශයෙන් පිරිනමා ඇති බව වාර්තා වේ.

    සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය , KSR Associates (වරලත් ගණකාධිකාරී) වෙත මෙම කොටස් පරිත්‍යාගය ලබා දී ඇත.

    මෙහිදී එක් කොටසක හුවමාරු මිල රු. 6.20 ක් ලෙසින් සලකා බලා ඇත. ඒ අනුව මෙලෙස පරිත්‍යාග කර ඇති මිලියන 5 ක්වූ කොටස් ප්‍රමාණයේ වටිනාකම රු. මිලියන 31 කි. ඊයේ (12) දිනයේ දී මෙම කොටස් පරිත්‍යාගය සිදුකර තිබේ.

    මීට පෙර 2023 ඔක්තෝබර් 25 දින ද කමන්ත අමරසේකර මහතා සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් මිලියන 4 ක් පිරිනමා තිබුණි. එහිදී එක් කොටසක් රු. 5.20 ක් බැගින් මිල සලකා තිබුණු අතර එම කොටස් පරිත්‍යාගයේ වටිනාකම රු. මිලියන 20.8 ක් ලෙසින් ගණන් බලා තිබුණි.

    මීට අමතරව තවත් අවස්ථා කිහිපයකදීම කමන්ත අමරසේකර මහතා මෙලෙස කොටස් පරිත්‍යාගයන් සිදුකර තිබීම විශේෂත්වයකි.

    2021 සැප්තැම්බර් 28 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිලියන 5 ක්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පුණ්‍යාතනයක් වන හෙල්පේජ් ශ්‍රී ලංකා වෙත පරිත්‍යාග කිරීමට ඔහු මීට පෙර කටයුතු කර තිබුණි.

    ඊට අමතරව 2022 මාර්තු 03 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිලියන 10 ක් ශ්‍රී දළදා මාළිගාවට පරිත්‍යාග කිරීමට ද ඔහු කටයුතු කළේය.

    එසේම තවත් පුණ්‍යයාතනයක් වන ළමා හා තරුණ සුභසාධන ජාතික කවුන්සිලය වෙත, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් 973,104 ක් ඔහු විසින් පරිත්‍යාග කර තිබුණි. ඒ 2023 සැප්තැම්බර් 21 වනි දිනයි.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන කමන්ත අමරසේකර මහතා 2020 දෙසැම්බර් 22 දින එම සමාගමේ කොටස් මිලියන 750 ක් මිල දී ගනු ලැබීය. ඒ එක් කොටසක් රු. 4.00 බැගිනි. ඒ අනුව ඔහු රු. බිලියන 3 ක් එම කොටස් මිල දී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර තිබුණි.

    කමන්ත අමරසේකර මහතා Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.

    ඔහු මේ වන විට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි සිව්වෙනියාට විශාලතම කොටස් හිමියා වේ.