Electric වාහන ආරෝපණය තුන් ගුණයකින් වේගවත් කරන්න John Keells වෙතින් දැවැන්ත වැඩපිළිවෙළක්

    June, 18, 2024

    ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන (New Energy Vehicles - NEV) සැපයීම සඳහා ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයෙකු වන චීනයේ BYD සමඟ සහයෝගීතාවයකට එළබුනේ 2023 වසරේ නොවැම්බර් මාසයේදී යි.

    මේ වන විට එම සහයෝගීතාවය යටතේ ලොව උසස්ම තත්ත්වයේ NEV වාහන මාදිලි ශ්‍රී ලංකාවට ගෙන ඒමට අදාල කටයුතු අවසන් කරගෙන යන බව BYD - John Keells සාමාන්‍යාධිකාරි චරිත් පණ්ඩිතරත්න මහතා පවසා සිටියි.

    ඔහු මේ බව පවසා සිටියේ පසුගිය දා පැවති මාධ්‍යහමුවකදී යි.

    ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ඇති ආරෝපණ ජාල වලට වඩා වෙනස්, එක් වාහනයක් තුන් ගුණයක වේගයෙන් ආරෝපණය කළ හැකි ආරෝපණ ජාලයක් ඉදිරි මාස දෙක ඇතුලත මෙරට තුළ සවි කර අවසන් කරන බවයි.

    "අපි අපේ Showroom එකයි, ලංකාවේ පලවෙනි EV workshop එකයි මේ වෙද්දි හදලා ඉවරකරගෙන යනවා. ඊට අමතරව ලංකාව වටේම location 11ක් අපි ඩීලර්ස්ලා විදිහට පත් කරන්න බලාගෙන යනවා. ඊට අමතරව John Keells කම්පැනි එකෙන්ම අපි Charging network එකක් දැනට ලංකාවේ සවිකරගෙන යනවා. ඉදිරි මාස දෙක ඇතුලත මේක ලංකාවේ බලාගන්න පුළුවන්. මේ Charging network එක ගත්තම අනිත් Charging network වලට වඩා පොඩ්ඩක් වෙනස්. බලයෙන් වැඩි, වාහනයක් තුන් ගුණයක් වේගයෙන් Charge කරගන්න පුළුවන්. "