පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට සයිබර් ආරක්ෂාව ලබා දීමේ වැඩසටහනක් කලාප හා පළාත් මට්ටමින්

    June, 20, 2024

    සයිබර් ආරක්‍ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා  ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගනී.

    මේ පිළිබඳ වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වර්ධනය වන දරුවන්ගේ හා  ගුරුවරුන්ගේ සයිබර් ආරක්ෂාව පිලිබඳ ගැටළු කෙරෙහි අවධානය යොමුකරමින් මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය ආරක්‍ෂිතව භාවිතය පිළිබඳ නොදැනුවත්භාවය හා නොසැලකිල්ල මෙම සයිබර් තර්ජනවලට හා අපරාධවලට ගොදුරුවීමට බෙහෙවින් බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදී.

    කලාප හා පළාත් මට්ටමින් තොරතුරු තාක්ෂණ සම්බන්ධ ගුරුවරුන්ගෙන් හා ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් පුහුණු කොට ඔවුන් මගින් අනෙකුත් පිරිස් දැනුවත් කිරීම හා අවශ්‍ය විට ඔවුන්ට සහාය වීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරේ.

    මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් සහ කලාප තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් සහභාගී වූ අතර සයිබර් සහ සමාජ මාධ්‍ය ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩමුළුවක්ද මෙහිදී පැවැත්විණ.