මෙරට සෞඛ්‍ය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

    June, 25, 2024

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකම අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙමගින් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැපීපෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති බවත්, ඉදිරියේ එන අභියෝග ජය ගැනීම අවශ්‍ය ශක්තිය ලබා දිය යුතු බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ අධ්‍යක්ෂ Faris Hadad-Zervos සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සිදු වන මරණවලින් 80%කටම හේතුවන වන බෝ නොවන රෝග ඵලදායී ලෙස පාලනය කිරීම සේ ම දකුණු ආසියාවේ වයස්ගත ජනගහනයක් සිටින රටක් වන ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ වර්ධනය වන සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා මෙම මූල්‍ය පහසුකම වෙන් තිබේ.