පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රථම CEO Club වැඩසටහනේදී විශිෂ්ටයන් රැසකට ඇගයීම්

    July, 1, 2024

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC) සමාගමේ ප්‍රථම ‘CEO Club’ වැඩසටහන පසුගිය ජූනි 24 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම තුළ විකුණුම් කටයුතු සම්බන්ධයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. මෙය සමාගම සිය කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් කැප වන අතරම විශිෂ්ටත්වයට මුල්තැන දෙන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා දරනු ලබන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.

    මෙම වැඩසටහනට පෙර, සමාගමේ ශාඛාවල අලෙවිය වර්ධනය කරගැනීම සඳහා ශාඛා අතර විශේෂ තරගයක් පැවැත්වුණු අතර, එහි ජයග්‍රාහකයන්ට ‘CEO Club’ උත්සවයේදී ත්‍යාග පිරිනමන ලදි. මෙම ත්‍යාග අතරට විදේශ සංචාර, හෝටල් පැකේජ සහ Pearl Bay හි දිනයක් ගතකිරීමේ අවස්ථාවක් ඇතුළු ත්‍යාග රැසක් ඇතුළත් වී තිබිණි. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ සේවය කරන වෘත්තිකයන් 200 කට අධික පිරිසක් මෙම වැඩසටහනට ඉමහත් උනන්දුවෙන් යුතුව සහභාගී වූහ.

    ‘මෙය අපගේ අලෙවිකරණ අංශයේ දක්ෂයන් ඇගයීමට ලක්කරන අතරම, නිරන්තරයෙන් විශිෂ්ටත්වය හඹා යාම සඳහා සමස්ත කණ්ඩායම දිරිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහනක්. මෙහි පළමු වැඩසටහනේදීම අපගේ කණ්ඩායම මෙවැනි විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබීම සම්බන්ධයෙන් මා බෙහෙවින් සතුටු වනවා.”  පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා පැවසී ය.

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ විශිෂ්ටයන් ඇගයීම සඳහා අගනා වේදිකාවක් බවට පත් වූ මෙම සමාරම්භක CEO Club වැඩසටහන එයට සහභාගී වූ සියල්ලන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත් විය. එමෙන්ම එහිදී සමාගමේ විවිධ ශාඛා හා අංශවල සාමාජික සාමාජිකාවන්ට ප්‍රිය සම්භාෂණයේ යෙදෙමින් සුහදත්වය වර්ධනය කරගැනීම සඳහාද අගනා අවස්ථාවක් ලැබිණි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඔස්සේ සමාගම තුළ සේවය කරන විශිෂ්ටයන් ඇගයීමට ලක්කරමින්, විශිෂ්ටත්වය හා සුහදත්වය මූලික කරගත් ආයතනික සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී තිබේ.