විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී ඇතිකර ගත් එකඟතාවයන් මෙන්න

    July, 2, 2024

    ඉන්දියාව, ජපානය හා ප්‍රංශය සමසභාපතිත්වය දරන නිල ණයහිමි කමිටුව සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවයන් පිළිබඳව අනාවරණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින සිදුකරන ලදී. විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් ලැබෙන බවත්, ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක් හෝ ඊට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමට අවසර ලැබන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    මේසා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂ ජයග්‍රහණයක්, සුබ ආරංචියක්. ඉන්දියාව, ජපානය හා ප්‍රංශය සමසභාපතිත්වය දරන නිල ණයහිමි කමිටුව සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවයන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්න කැමතියි.

    මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලී අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා.

    ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක් හෝ ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්න අවසර ලැබෙනවා.

    ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා.

    තවත් ලෙසකින් කිව්වොත් අපේ ණය ගෙවා අවසන් කළ යුත්තේ 2043 වසරේ දී. ඒ තමයි වසර 8කට අපි දික් කරලා තියෙන කාලය.

    ණය සේවාකරණ වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රමිකව වැඩිකරන්න හැකිවෙනවා.

    එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.

    අපිට ණය ගෙවීමේ දී මූලික මුදල නෙමෙයි, ඒත් අපිට ගෙවන්න තියෙන පොලියෙන් අපිට ඩොලර් බිලියන 5ක් මෙකෙන් ඉතුරු කර ගන්න පුළුවන්.

    මේ නිසා ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීම, සංචිතය යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂණයන් ඇති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේ දී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශ ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මූල්‍ය අවකාශයන් උදාවෙනවා.