May, 9, 2016
මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවෙලරි එක්ව යාපනය දිස්ත්‍රික්කයේ සුභ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
“යාපනය ජනයාට සහන සැලසීම“ (Helping the needy in Jaffna) යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ යුද්ධයෙන් පීඩාවට පත්වූ පවුල් වල සංවර්ධනය සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදාදීම සිදුකර තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වර්න් මහතාගේ ඉල්ලීමක් අනුව මයුරම්පති අම්මාන් සුභසාධක සංගමය සහ නිත්‍යාකල්‍යාණි ජුවෙලරි එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය. මේ යටතේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ සංවිධායක ආයතන වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම භාණ්ඩ බෙදාදීම 2016 අප්‍රේල් 9 වන දින යාපනය කයිතඩි හි පිහිටි විනයාගර් මංගල ශාලාවේදී පැවැත්විණ.
මෙම සුභ සාධන ව්‍යාපෘතියේ ප්‍රධානතම ක්‍රියාකාරකම් අතර ස්වයං රැකියා සඳහා උපකාර කිරීම, ළමුන්ගේ අධ්‍යාපන කටයුතු නැංවීමට සහය වීම, සහ ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා සහය වීම යනාදිය ඇතුළත් වෙයි.
සපත්තු 750 ක්, පාසැල් බෑග් 400 ක්, වතුර බෝතල් 100 ක්, සාරි 500 ක්, කාන්තා පාපැදි 10 ක්, මහන මැෂින් 20 ක්, ඉඳි ආප්ප තැම්බීම සඳහා වන ස්ටීමර්ස් 50 ක් සහ විදුලි වතුර පොම්ප 5ක්, ආදී වශයෙන් රුපියල් මිලියන 2කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම සමාරම්භක උත්සවයේදී පිරිනමනු ලැබීය.
එම අවස්ථාව අමතමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා සඳහන් කලේ යාපනයේ ජනතාව විශාල වශයෙන් යුද්ධයෙන් පීඩාවට පත්වූ බවයි. යුද්ධය අවසන් වීමෙන් පසුව ද මෙම ප්‍රදේශ වල සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක නොවු බවත්, අවශ්‍යව තිබුනේ ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් සිදුකෙරෙන විධිමත් වැඩසටහනක් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එම අවශ්‍යතාව මැනවින් වටහා ගනිමින් මේ සඳහා ආධාර කිරීමට ඉදරිපත්වීම සම්බන්ධයෙන් මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමයට සහ නිත්‍යකල්‍යාණි ජුවෙලරි යන ආයතන වලට ස්තුතිවන්ත වන බව ද හෙතෙම සඳහන් කළේය.
“එමෙන්ම මේ හා සමාන ව්‍යාපෘතියක් කිලිනොච්චියේ ද ක්‍රියාත්මක කරන ලෙස මම මෙම ආයතන වලින් ඉල්ලා සිටිනවා.එම ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව යුද්ධය නිසා පීඩාවට පත්වුනා. ඒ නිසා සුභ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන සමාගම් වලට පුළුවන් මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යම් දෙයක් කරන්න “ යනුවෙන් ද සී. වී විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය වෙනුවෙන් එහි සභාපති සුන්දරලිංගම් මහතා මෙම අවස්ථාවට එක්විය. සුන්දරලිංගම් මහතා වැල්ලවත්ත මයුරම්පති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ භාරකරු වෙයි. මයුරම්පති අම්මාන් සුභසාධක සංගමය මීට මාස 3කට පමණ ඉහතදී ඇරඹි එකක් වන අතර ගතවු මාස 3 තුළ විවිධ සමාජ සේවා රැසක් දියත් කර තිබේ. එක් ව්‍යාපෘතියක් ලෙස යාපනයේ ක්‍රියාත්මක කළ ආධාර ව්‍යාපෘතිය දැක්විය හැකි අතර, මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේ කාන්තා නේවාසිකාගාරය පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මෙම ව්‍යාපෘතිය 2016 මැයි 7 වනදා ඇරඹීමට නියමිතය.
මෙම ව්‍යාපෘති සඳහා ආධාර කරනු ලබන්නේ කාරුණික ශ්‍රී ලාංකිකයින් විසින් වන අතර මෙම ව්‍යාපෘති සාර්ථකව සම්පුර්ණ කිරීම සඳහා අඛණ්ඩව සහය ලබාදීමට ඔවුන් සුදානමින් සිටියි. සමාජ සේවාවැඩසටහන් හා සම්බන්ධ වෙමින් ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට සහය වීම මාරියම්පති අම්මාන් සුභ සාධක සංගමයේ ප්‍රධාන පරමාර්ථයයි. පීඩාවට පත්ව සිටින ජනතාවට අධ්‍යාපන, ආර්ථික සහ සමාජයිය වශයෙන් සහයෝගය දැක්වීම එහිදී සිදුවෙයි. ශ්‍රී ලංකාව සහ එහි ජනතාව කෙරෙහි පුර්ණ වශයෙන් විශ්වාසය තබමින් මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය ක්‍රියාත්මක වෙයි.
ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 38 කට වැඩි කාලයක් කීර්තිමත් නාමයක් දිනු වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවෙලරි ස්වර්ණාභරණ නිෂ්පාදනය අතින් සම්මාන දිනු ආයතනයකි. අති නවීන ස්වර්ණාභරණ මැදුරක් පවත්වාගෙන යන නිත්‍යකල්‍යාණි ජුවෙලරි ආයනය 150 ක පමණ කාර්ය මණ්ඩලයකින් යුක්ත වෙයි. එමෙන්ම ඔවුන් සතුව ඉන්දියානු සහ ශ්‍රී ලංකා සමප්‍රදායට අයත් විලාසිතා ඇතුළුව ප්ලැටිනම් ,රත්‍රන්, සුදු රත්‍රන්, දියමන්ති, නිල් මැණික්, සහ වෙනත් සියලුම වටිනා මැණික් වර්ග යොදා තැනූ ආභරණ මෝස්තර 14000ක් පමණ ඇත.
Video Story