රු. බිලියන 571ක රත්‍රං උකස් තියලා

    July, 23, 2024

    පසුගිය කාලය තුළ රට තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම සෘජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම සීග්‍රයෙන් වැඩි වී ඇත.
    2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම්වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ දක්වා 172%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
    ඒ අනුව, ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000/- නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම පිණිස යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.