August, 6, 2024
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 45 වන සංවත්සරය අගෝස්තු මස 01 දිනට යෙදී තිබුණි. මීට සමගාමිව සර්ව රාත්‍රි පිරිත් සජ්ඣායනාව ක් සහ මහා සංඝරත්නය උදෙසා සිදුකළ දානමය පින්කමක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේදි පසුගිය අගෝස්තු 02 සහ 03 වෙනිදා සිදුකරන ලදි.
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සිදුකරන ප්‍රමුඛම රාජ්‍ය ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවන ලද්දේ 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ එවකට වෙළඳ හා නාවික අමාත්‍ය , ගරු ලලිත් අතුලත්මුදලි මහතාගේ මඟ පෙන්වීම යටතේ ය. මෙම පනතේ පළමු වැදගත් පියවර වූයේ ජාතියේ යහපත උදෙසා ඉහළම ප්‍රමිතියෙන් යුතුව එහි කාර්යයන් ඉටු කිරීම සඳහා අපනයන ප්‍රවර්ධනය හා සංවර්ධනය පිළිබඳ පුළුල් බලතල සහිතව අපනයන සංවර්ධන මණ්ඩලය බල ගැන්වීමයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වත්මන් සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ එදා මෙදාතුර අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සහ කටයුතු සිදුකරමින් සිටින සෑම සියලු දෙනාම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට වසර 45ක් සපිරෙන මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරන බවයි.
පසුගිය දශක හතර හමාර තුළ, ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන, වෙළඳ නියෝජිත සාකච්ඡා, මූල්‍ය සහන යෝජනා ක්‍රම, ව්‍යාපාරික බුද්ධිය ලබා දීම යනාදිය හරහා අපනයනකරුවන් දහස් ගණනකට ජාත්‍යන්තර වෙළඳපොලේ තම පැවැත්ම තහවුරු කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය සහාය ලබා දී ඇත. සුළු පරිමාණ ව්‍යවසායකයන් ලෙස එදා අපනයන සංවර්ධන මන්ඩලය සමඟ කටයුතු කළ බොහෝ ව්‍යවසායකයන් අද අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට අවුරුදු 45 ක් සපිරෙන මේ අවස්ථාවේ අප රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වගේම, නව ගෝලීය ප්‍රවණතාත් සැලකිල්ලට ගනිමින්, නව්‍යකරණය වූ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරමින් පවති. එහි ප්‍රතිලාභ අපනයන ක්ෂේත්‍රයේ සැමටත්, ඒ සඳහා එක්වීමට අපේක්ෂා කරන නවක අපනයනකරුවන්ටත් හිමිවේයැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි.



Video Story