ACCA සහ CSE අතර අවබෝධතා ගිවිසුමක්

    August, 8, 2024

    වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.

    මෙම සහයෝගීතාවය ඔස්සේ CSE ශාඛා හරහා ACCA අධ්‍යාපනික පාඨමාලා පිරිනැමීමට අපේක්ෂිතය. එයට ප්‍රාග්ධන වෙළඳපොළ (පිළිබද විෂය ඒකකයක්) මොඩියුලයක් ඇතුළත් වනු ඇත. ACCA සහ CSE යන ආයතන ද්විත්වයේ හවුල්කාරීත්වය සමඟින් අධ්‍යාපනික පාඨමාලා සන්නාමකරණය වනු ඇති අතර ACCA වෘත්තීය සංවර්ධන සහ ඉගෙනුම් සම්පත් වෙත ප්‍රවේශය ඉන් හිමි කර දෙනු ඇත. ඒකාබද්ධ අලෙවිකරණ ක්‍රියාකාරකම් හරහා සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට සහ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීමට නව මංපෙත් විවර කිරීම සහ නිර්මාණය කිරීම මෙම හවුල්කාරිත්වය මඟින් සිදු වනු ඇත. ධාරිතා සංවර්ධනය කිරීමේ කටයුතු හරහා සිසුන්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම ද මෙමඟින් අරමුණු කෙරේ.

    මෙම අවබෝධතා ගිවිසුමට ACCA දකුණු ආසියානු ඒකක ප්‍රධානී නිලූෂා රණසිංහ මහත්මිය සහ CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසින් අත්සන් කරන ලදී. ACCA ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී රුචේරා ජයවර්ධන, ACCA ව්‍යාපාර සබඳතා කළමනාකාරිනී ඩිලානි පෙරේරා, CSE ජ්‍යෙෂ්ඨ උප සභාපති - අලෙවිකරණ නිරෝෂන් විජේසුන්දර, CSE නීති නිලධාරිනී - නීතිමය කටයුතු සහ බලාත්මක කිරීම්, උත්පලා දිසානායක සහ CSE ජ්‍යෙෂ්ඨ උප සභාපති - නීතිමය කටයුතු, බලාත්මක කිරීම සහ අනුකූලතා ලංකේෂා මොල්ලිගොඩ යන මහත්ම මහත්මීන් අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වූහ.

    හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, “මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මුල්‍ය වෙලඳපොළවල් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට බොහෝ විට දෙගිඩියාවෙන් පසුවන්නේ අවබෝධයක් නොමැතිකම හේතුවෙනි. වටිනා තොරතුරු සහ දැනුම සැපයීම සඳහා මෙවැනි හවුල්කාරිත්වයන් ඉතා වැදගත් වන අතර ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට ඒවා පහසුවෙන් පරිශීලනය කිරීමට ඉන් හැකි වනූ ඇත. මෙම කටයුත්ත අපගේ ආයතන සහ අප සේවය කරන කර්මාන්ත යන ද්විත්වයටම ප්‍රතිලාභ හිමි කර දෙන බැවින් අප එය ඉතා අගය කොට සලකන්නෙමු.” යනුවෙනි.

    ACCA දකුණු ආසියානු ඒකක ප්‍රධානී නිලූෂා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, “ACCA හි අප විශ්වාස කරන්නේ සහයෝගිතාව යනු ප්‍රගතිය උදෙසා වන මූලික අඩිතාලම බවයි. CSE සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, ජාතික න්‍යාය පත්‍රයට සහය දැක්වීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවය උදෙසා දායක වීමට අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂි දරයි. අපි CSE සමඟ ඵලදායී සහ අර්ථවත් සහයෝගීතාවයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර, මෙම අවබෝධතා ගිවිසුම ඉදිරි වසරවලදී හෝ සාර්ථක ක්‍රියාකාරකම් සඳහා මඟ පාදනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.” යනුවෙනි.