August, 12, 2024
ලෝක හස්තීන්ගේ දිනය අදට (12) යෙදී ඇත. ලොව පුරා වාසය කරන හීලෑ අලීන්ගේ මෙන්ම වන අලීන්ගේ සංරක්ෂණය අරමුණු කර ගනිමින් සෑම වසරකම අගෝස්තු 12 වැනි දින ලෝක අලි දිනය ලෙසින් නම් කර ඇත.
මේ අතර ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වභාවික එකතුව නොහොත් 'මහා හස්ති හමුව' පිළිබඳ දැනුවත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගනිමින් පැවැත්වුණු 'The Gathering of Giants' වැඩසටහන පසුගිය සතිඅන්තයේ දී (2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනිදා දක්වා) Cinnamon Hotels & Resorts හි Cinnamon Habarana Complex හිදී පැවැත්වුණි.
සෑම වසරකම මැයි සිට ඔක්තෝබර් දක්වා කාලවකවානුව තුළ මෙම ප්‍රදේශයේ පිහිටි විශාල වාරි ව්‍යාපෘති දෙකක් වන මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල ජල මට්ටම සීඝ්‍ර පහළ යාමකට ලක්වේ. එලෙස මෙම වැව්වල ජලය අඩු වීමත් සමඟම එම වැව් පිටිවල වැවෙන අලුත් තණකොළ ආහාරයට ගැනීම සඳහා විශාල වශයෙන් අලිඇතුන් සංඛ්‍යාවක් මෙම ප්‍රදේශ කරා ඇදී ඒම සෑම වසරකම ස්වභාවිකව සිදුවන සංසිද්ධියක් බවට මේ වන විට පත්ව ඇත.

“ඔක්තොබර් මාසයේ දී මෝසම් වැසි ආරම්භයත් සමඟම මින්නේරිය සහ කවුඩුල්ල වැව් පිටි සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙනවා. එය අප්‍රේල් මාසයේ දී යල කන්නයට ජලය නිදහස් කරනතුරු වැව් පිටිය ජලයෙන් යටවෙලා තියෙන්නේ. අප්‍රේල් මාසයේ දී ජලය නිදහස් කිරීමත් සමඟම වැව් පිටිය පෑදෙනවා. ජලයෙන් යටවෙලා තිබුණු ප්‍රදේශයේ තණකොළ මැරිලා තියෙන්නේ. ඊට පස්සේ අලුත් තණකොළ වැවෙනවා. මෝරපු තණකොළවලට වඩා අලුත් තණකොළවල ප්‍රෝටීන් ප්රමාණ්ය වැඩියි. අලි මින්නේරියට සහ කවුඩුල්ලට එන්නේ ඒ හේතුව නිසා“, යනුවෙන් අද දෙරණ වෙත අදහස් දක්වමින් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසයී. ආචාර්ය සුමිත් පිලපිටිය මහතා මේ වන විට මින්නේරිය සහ කවුඩුල්ල ප්‍රදේශයේ අලිඇතුන්ගේ හැසිරීම පිළිබඳ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයෙකු ද වේ.

“2006 දී පමණ Lonely Planet සඟරාවෙන් කිව්වා ලෝකේ ඉන්න සතුන් එකට එකතු වෙන මූලාශ්‍ර 10න් එකක් ලංකාවේ තියෙනවා කියලා. එය අපට ලොකු රුකුලක් වුණා, ලංකාව බ්‍රෑන්ඩ් කර ගන්න. ලංකාවේ හස්ති හමුව ලොව විශාලතම මෙයාකාරයේ හමුවලින් හයවෙනි තැන ගන්නවා. ඒක ලොකු බ්‍රෑන්ඩින් අවස්ථාවක්. අනෙක් සතුන්ට වඩා අලි දකින එක යම්කිසි විදියකට ලේසියි. වැස්සේ නැත්නම් මේ කාලෙට අලි එලියට එනවා. සාමාන්‍යයෙන් මිනිස්සු සෆාරි එකක් ගිහිල්ලා අලි ගනිනවා, 30 ද 40 ද 100 ද කියලා. නමුත් එතනින් එහාට දෙයක් මෙතන තියෙනවා. මේ හස්ති හමුවට අභියෝග තියෙනවා. ඒ ගැන සංවාදයක් අපි අපි දැන් ආරම්භ කරලා තියෙනවා“, යනුවෙන් අද දෙරණ වෙත අදහස් දක්වමින්, සිනමන් හොටේල් සමූහයේ වනජීවි සහ වන සංරක්ෂණ අංශ ප්‍රධානී චිත්‍රාල් ජයතිලක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලෝකය වෙත ගෙනයාම වෙනුවෙන් චිත්‍රාල් ජයතිලක මහතා මේ වන විට විශිෂ්ඨ කාර්යභාරයක් සිදුකරනු ලබන පුද්ගලයෙකි.
ජූලි මස සිට ඔක්තෝබර් මස දක්වා පවතින නියං සමයත් සමඟ මෙම වාර්ෂික හස්ති හමුව පැවැත්වෙන අතර අවට ප්‍රදේශවල ජීවත්වන කුඩා අලි රංචු මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට පැමිණෙති. අවශ්‍ය ආහාර සහ ජලය අනෙකුත් ප්‍රදේශවල හිඟවීම නිසා අලි ඇතුන් මෙම ස්ථානය ආශ්‍රිතව ගැවසෙන අතර අලි ඇතුන් රංචු ගැසී ස්නානය කිරීම, ජලය පානය කිරීම, මෙන්ම සිය සහකරු හෝ සහකාරිය සොයා ගැනීම ආදී විවිධ කටයුතු මෙහිදී සිදුවන අතර එය සංචාරකයන්ට චමත්කාරජනක දසුනක් වනු ඇත. මෙය ගෝලීය වශයෙන් හයවන විශාලතම සත්ව එකතුව ලෙස Lonely Planet විසින් නම් කර ඇති අතර BBC සහ CNN විසින් මෙය සංචාරකයන්ට ලැබෙන අමතක නොවන අසමසම අත්දැකීමක් ලෙස ඇගයීමට ලක් කර තිබේ.
මින්නේරිය සහ කවුඩුල්ල වැව් පිටි වෙත අලි ඇතුන් එක්රැස් වූ අවස්ථාවන් අද දෙරණ කැමරාවට හසුවු අයුරු






සටහන - සිසිර කන්නන්ගර (මින්නේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යානයන් හි සංචාරයකින් පසු)
ඡායාරූප - උදිත මහේෂ්