අගෝස්තු මාසයේ සංචාරක පැමිණීමේ වාර්තාගත ඉහළයාමක්

    August, 13, 2024

    2024 අගෝස්තු මාසයේ පළමු දින 11 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාවේ වාර්තාගත ඉහළ යාමක් නිරීක්ෂණය වේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම දින 11ක කාලවකවානුව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 73,373 කි.

    මෙම ප්‍රමාණයත් සමඟම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,271,432 ක් ලෙසින් සටහන්ව ඇත.

    අගෝස්තු මාසය තුළ දී එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් පැමිණ ඇති සංචාරකයින්ගේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ.

    විශේෂයෙන්ම අගෝස්තු මාසයේ දී මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලවකවානුව මෙරටට වැඩිවශයෙන් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණෙන කාලපරිච්ඡේදයකි.

    අගොස්තු මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 16.4% ක් එනම් 12,008 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,933ක්, චීනයෙන් 5,733ක් හා ඉතාලියෙන් 5,215ක් ලෙසින් වැඩි වශයෙන් මෙම කාලසීමාව තුළ සංචාරකයින් මෙරටට පැමිණි රටවල් වේ.