August, 13, 2024
හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු/සංස්ථා/ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (Public Liability Company) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අයවැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කරනු ලැබ ඇති අතර, අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එකී වාර්තාවේ නිර්දේශිත යෝජනා අතර වූ පෙර කී යෝජනාව සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සියලු යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.